Monday, September 2, 2013

__LaydeeZ__

කාලෙකින් ආවා පොඩි ආරංචියකුත් එක්ක. අපේ අයිෂ් කෙල්ල ඔන්න අලුත් වැඩකට අත  ගහලා. එයාගෙම කියලා ව්‍යාපාරයකට. කාන්තාවන් විදියට ඇය ගේ උත්සාහය ධෛර්ය ඇත්තටම මම අගය කරනවා. දැන් කාලේ ළමයි එක්කෝ අම්මලා තාත්තලාව මරාගෙන කනවා පොඩි කාලේ. ඊටපස්සේ බැන්දට පස්සේ මනුස්සයව. එහෙම වෙන්නේ නැතුව ස්ව උත්සාහයෙන් නගින්න යන මේ කන්ද උඩටම නැගලා යන්න මම සුභ පතනවා අයිසෝ.....

පිටරට බඩු ගන්න අපිට පිටරට යන්න කොහෙද අප්පා වරම් :( ඒ නිසා අපි අයිස් ගෙන් ගන්න එනෝ පිටරට තොරොම්බල් .... :D 





පිරිමි ඈයොන්ටත් තියෙනවා ඔන්න.

පිරිමි ළමයිනේ තමන්ගේ ගෑල්ළමයට අරන් දෙන්න ලත්තන ලත්තන කලාබු

















ඔන්න එහෙනම් මේ මුණු පොතේ පිටුවෙන් අයිස් අමතන්න. Laydeez


එහෙනම් මම ගියෝ. හැමෝටම සුභ දවසක් ......



ප.ලි. - පරක්කු උනා සුභ පතන්න සොලී අයිසෝ

Saturday, January 19, 2013

__කාලෙකින් ආවා අලුත් ආරංචියක් එක්ක__



හලෝ ළමයිනේ කොහොමද? හැමෝම හොඳින් ඉන්නවාද?
මමනම් සුවෙන් සැපෙන් ඉන්නවා හිකිස්... කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් නොලියුවට කට්ටියම ලියන කියවන එව්වා ඇහැ ගහගෙන හිටියේ ඕන් , මට හොරෙන් කුරුල්ලෙක්වත් පියාබනවා බොරු :D........ කම්මැලිකමත් රැකියාවේ කටයුතුත් නිසා බ්ලොග් ලිවිල්ල පස්සට ගියා එකටනම් හද පිරි මෙව්වා එකෙන්ම දුකයි. :'(

හරි දැන් කස්ටිය බලනවා ඇති මෙකි මොනාද මේ කාලෙකින් ඇවිත් දොඩවන්නේ කියලා නේද :P


ලස්සන කටයුත්තක් වෙන්න යනෝ ළඟදීම. අහ්හ් තව සතියකින් හරියටම. හරියටම තිතටම කියුවොත් 27 වෙනිදා :) ගම්පහ හෙනරත්ගොඩ මල්වත්තේ සුහද හමුවක් සංවිදානය කර තිබෙනවා අපේ Sam සහ සිරා විසින්. ඉතින් අපි හැමෝම යමු නේද එදාට. කට්ටියව පුදුම කරවන කැරකිලා අතාරින එව්වා ගොඩාක් ඔන්න සංවිදානය කරලා තියෙනවාලු. මමනම් යනවා අනේ මට ආසයි බලන්න :D ඔයාලත් එනවා නේද? හැමදාම ගෙදරයි ඔපීසියයි ගෙදරයි ඔපීසියයි,  ජිවිතේ වෙලා තියෙන අය එදාට එන්න. ජීවිතේට අලුත් අත්දැකීමක් එකතුකරගන්න. හැමදාම නැහැ හොඳේ :)

හරියමට 27 වෙනිදා උදේ 7 වෙද්දී කොටුව ඉස්ටෙසොමෙන් ගමන පටන් ගන්නවාලු කොළඹ ඉන්න උදවිය.
එදාට එද්දී කෑමට බිමට සහ ඇතුල් වීමට ගන්නේ රුපියල් 200 ක් ලු. අහ්හ් මම එන්නේ එක නිසාමයි. නැත්තම් මම එයි හැක හැක හැක
එහෙනම් කට්ටියම එන්න. එදාට අපි හැමෝම හමුවෙලා කතා කරමු. ඔන්න අර ගාල්ලේ ගියා වගේ මම පරක්කු වෙන්නේ නැහැ හොඳේ :D

එහෙනම් 27 හමුවෙමු. වැඩි විස්තර සඳහා මුණු පොතේ ගෘපයක් තියෙනවා. බ්ලොග් පොස්ට් තියෙනවා. ඒවා බලන්නකෝ. මම ලින්කු දාන්නම් හරි.



මුණු පොතේ අදාළ ලින්කුව

මේක ඔබලා එනවා කියලා දැනුම් දෙන්නලු කලින් :පි

වැඩි විස්තර SAm ගෙන්

සිරාගෙන් වැඩි විස්තර


එහෙනම් ගිහින් එන්නම් :)

Saturday, October 6, 2012

පව් කාරයා මං

සසර කතර එතෙර කරන
නැව හිමි නාවිකයා ඔබ
අදුර අතර සිරගත කල
ආලෝකයේ සිලුවයි ඔබ

මෙලොව බුදුන් මට පෙන්වා
කවා පොවා දෙවා සතර
මමයි ඔබේ මිසදුටු පුත්
හමුවී ඇත ගෙවා සතර

අවැඩ පවැඩ ලොවැඩ සිත්
අතර නිතර සැරිසැරුවද
රාග ද්වේශ මෝහ රසින්
දිවිය අතරමං වුවද

මතු බුදුවන මෙතේ බුදුන්
ඔබ මව් කුස බිහි වූවද
ගෙදර බුදුන් ලෙස පෙළහර
පෑ අවසර මගේ නොවේද

පෙරුම් පුරා සසර ගෙවා
බුදුවූ ලෙස මෙතේ බුදුන්
ඔබට හැකිද බුදු වන්නට
මා හැදු වැඩු පිනේ බලෙන්

මවැනි පුතුන් හැදු පවින්
බුදු පදවිය ගිලිහුණි නම්
හතර අපා උපදින්නම්
උඹේ පවුත් මට දීපන්






ප.ලි. - මට කවි ලියන්න බැරියෝ. මේ අසිහියෙන් ඉන්න වෙලාවක මගේ කෙනෙක් ලියපු කවියක්.අව්‍යාජයි....

Sunday, September 23, 2012

__සුනඛයෙකුගේ පාපොච්චාරණය__


          "සෑම මිනිසෙකුටම බල්ලෙකු සිටිය යුතුය" යන පැරණි කියමන මං අහලා තියෙනවා. එත් මට හිතෙන්නේ :සෑම බල්ලෙකුටම මිනිසෙක් සිටිය යුතුයි" කියලයි.
                                බල්ලෙකු වූ මා කතා කරන්නේ මොන දෙයක් ගැනද කියන්න මං දන්නවා.හැම බල්ලෙකුම ඉතා පරීක්ෂාවෙන් මිනිසෙකු තෝරාගන්න ඕනා.ඒ තේරීම වෙන්න ඕනේ ඉතා කරුණාවන්ත බල්ලන්ට ආදරේ කරන හැන්දෑවට ඇවිදින්න කැමති කෙනෙක්.
            ඒ අතින් මං තෝරාගත්ත මනුස්සයා ඒ හැම අතින්ම සම්පුර්ණ කෙනෙක්.මං කියලා දෙන ඕනෑම දෙයක් ඉක්මනින් වටහා ගන්න එයාට පුළුවන්.මං මුලින් එයාට ඉගැන්නුවේ මට බෝල විසි කරන හැටි.එයා ඈත ඉඳන් ඉන්නකොට මං කටින් බොලේ අරන් ගිහින් එයා ළඟ තියලා ඈතට දුවනවා.එයා තේරුම් ගන්නවා එතකොට එය මා වෙත විසි කල යුතු බව. ඉතින් මේ විදියට අපි සෑහෙන වෙලාවක් සෙල්ලම් කලාම මට කලින් ඔහු විඩාටව පත් වෙනවා. අන්න ඒ වගේ වෙලාවට මට හිතෙනවා මිනිසෙක් අප තරම් (බල්ලෙකු තරම් )ශක්තිමත් නෑ කියලා.
                          සමහර වෙලාවට හැන්දෑවේ අපි ඇවිදින කොට ඔහු ඔහේ උඩ බලාගෙන යනවා. එතකොට මං කරන්නේ වරක් දෙවරක් ඔහුගේ පා අතරින් එහා මෙහා පැනීමයි. එතකොට ඔහු ඔහුගේ අතේ කර පටිය තද කර රඳවා ගන්නවා. ඒ කියන්නේ ඔහු මගේ ළඟටම වී ඉන්න බවයි.
                       දවසක් මගේ මිනිසා පාන්දරම මගේ කරපටියත් අරන් දුවමින් හිටියා.එත් මට දැනුනේ හරිම කම්මැලි කමක්. මං එකවරම නැවතුනා. ඔහු පටිය පැටලී බිම වැටුනා. ඉන් පස්සේ ඔහු හෙමින් මා පස්සෙන් ගමන් කළා.තවත් ඒ වගේ දවසක ඔහු බිම වැටි විනාඩි කිහිපයක් ඒ විදිහටම හිටියා. මිනිහෙකුට උනත් සලකන ඒක හොඳ දෙයක්. ඒ වගේ වෙලාවට මං ගිහින් එයාගේ මුණ ලෙවකනවා.
                                                                  බොහෝ වෙලාවට අප, මිනිසුන් අපත් එක්ක එකට නිදාගන්නවාට කැමති නැහැ.එත් මං ඔහුට මාත් එක්ක නිදාගන්න ඉඩ දීලයි තියෙන්නේ.මං ආසයි ඒ වගේ කෙනෙක් මගේ ලඟින් ඉන්නවට. ඒක මගේ ආරක්ෂාවටත් හොඳයි.ඔහුට අයත් සැප පහසු කුෂන් පුටුවක් තියෙනවා.මං අහලා තියෙනවා ඒ වගේ පුටුවල වාඩි උනාම මිනිස්සු කම්මැලි වෙනවා කියලා.එයා ඉඳ ගන්න එද්දී මං ඒ පුටුවට පැනලා නිදා ගන්නවා. නැත්තම් සෙල්ලම් කරනවා. එතකොට ඔහු අසල තියෙන වෙනත් පුටුවක ඉඳ ගන්නවා. මං ආස නැහැ මිනිස්සුන්ව කම්මැලි කරන්න.ඒක එයාලගේ දියුණුවට නරකයි.


                                                                            
 මිනිහෙකුට යමක් උගන්නන එකත් ලේසි පහසු දෙයක් නෙමෙයි.සමහර දේ පුන පුනා ඔහුට කියන්න ඕනේ.එත් මං කවදාවත් තරහා ගිහින් ඔහුට බුරන්න, පයින් ගහන්න යන්නේ නැහැ.දෙතුන් වතාක කෙඳිරි ගාමින් ඔහුට නැවත ඒ දෙය තේරුම් කිරීමට උත්සහා ගන්නවා.සමහර වෙලාවට මගේ ආහාර ගැනීම ට යාමට ඔහු ඉඩ දෙන්නේ නැහැ. එවිට දෙතුන් වතාවක් ඔහුට බුර බුරා ඔහු කල වැරැද්ද පෙන්වා දෙද්දී ඔහු කල වරද තේරුම් ගෙන මා කරපටියෙන් ලිහනවා. ඔහුගේ එම වැටහීම මට ලොකු සතුටක්.

                    ඇතැම් දවසක ඔහු නිවසින් පිටවී යාමට සුදානම් වෙනවා. ඒ වගේ වෙලාවට මං ඔහුගේ පා අසල වැතිරී හුගාක් දුකින් වගේ ඒ මුහුණ දිහා බලන් ඉන්නවා.එතකොට ඔහු ගමන් මල්ල පැත්තකින් තියලා ඒ අදහස අතහැර ගන්නවා. ඒ වගේ වෙලාවට එයාට මගේ අවසරය ලැබෙනවා සැප පුටුවේ වාඩි වෙන්න.මං හෙමින් ඔහු ලඟට ගිහින් අතක් ලෙවකමින් මගේ කෘතඥතාව ඔහුට පළ කරනවා.
      මිනිහෙක් එලියට බැස්සම ඔහේ දඩාවතේ යනවා.ඒ වුනාට මං වැදගත් බල්ලෙක්.මං කැමති නැහැ ඕවට.එබැවින් ඔහු නිතරම නිවස තුල තියාගෙන ඉන්න ඉන්න මං දරන්නේ සුළුපටු උත්සාහයක් නෙමෙයි. වෙලාවකට මේ මිනිස්සු හැදිල්ලත් මට එපා වෙනවා.....



  කොරේ ෆෝර්ඩ් ගේ Every dog should own a man කෘතිය ඇසුරෙන් :)


ප.ලි. - කලකට පස්සේ වේලකට බැස්සේ කියලා ඔන්න මම ආපහු බ්ලොග් ලිපියක් ලියන්න ආවේ ටික කාලයකට පස්සේ. ඒ කාලය අතර තුර මුණු පොතෙන් වගේම පෞද්ගලිකව හමුවී මං ගැන හොයා බලපු ඇයි ලියන්නේ නැත්තේ කියලා අහපු , කරදරයක්ද කියලා සොයා බලපු හැමෝටම ස්තුති :)))

Monday, July 23, 2012

_____ පුංචි සුරංගනාවියකට ඇසීම ලබා දෙමු නේද ___



පුංචි දරුවෙක් කියන්නේ හරියට මලක් වගේ. හරිම පරිස්සමට ආදරේ ගොඩාක් දීලා චුටි මල් කැකුලක් හදන්න සමහර  දෙමව්පියෝ කොච්චර දුක් විඳිනවද? තමන්ගේ දරුවාට කිසිම ලෙඩක් දුකක් නොදී බලාගන්න දෙමව්පියන් වෙච්චි ඔබ කොච්චර පරිස්සම් වෙනවාද?

මේ පින්තුරේ ඉන්න මල් කැකුලක් වගේ පුංචි නංගියාගේ වයස තාම අවුරුදු 4 යි.එයාගේ නම ප්‍රශාලි තත්සරා නානායක්කාර.තාම කටේ කිරි සුවඳ ගිහිල්ලත් නැති මේ පුංචි කැකුලගේ කන් දෙකම ඇහෙන්නේ නැහැ.අපි එකතු වෙලා මේ අහිංසක සමනළියට අනාගතේ ගීතය අසන්නට උදව් කරමු.
මේ නංගියාට කෘතීම කර්ණ ශාන්ඛයක් බද්ද කරන්න ඕනි. එම සැත්කමට හා උපකරණයකට රුපියල් ලක්ෂ 21 ත් 25 ත් අතර මුදලක් වැය වෙනවා කියලා වෛද්‍යවරු පවසනවා.

එත් ත්‍රිවිල් රථ රියදුරු රස්සාව එදා වේල හොයාගන්න මේ පවුලට උදව් වෙනකොට මෙපණ මුදලක් ඒ දෙමව්පියන්ට හොයාගන්න එක හීනයක්‌...., 
දැනට ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 3 ක් නිර්දේශ කරලා තියෙනවා.ගොඩාක් මහන්සියෙන් ටිකට් විකුනලා, ගොඩාක් අයගේ උදව්වෙන් දැනට රුපියල් ලක්ෂ 9 ක් හොයාගෙන තිබෙනවා.තව ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 10 ක් ඕනා කරනවා මේ මල් කැකුල ට ජිවිතේ දෙන්න. 2012 අගෝස්තු 20 වෙනිදා වෙනකොට මේ සැත්කම කරොත් එම සැත්කම හුගාක් සාර්ථක වෙයි කියලයි වෛද්‍යවරු පවසන්නේ.
අපෙන් ලැබෙන පුංචි රුපියලෙන් පවා මේ පැංචිගේ අනාගතය තීරණය වෙනවා.

ඉතින් යාලුවනේ අපිට අතෑහැකි අයුරින් මේ මල් කැකුල ට උදව් කරමු නේද? අපි නාස්ති කරන සල්ලි හොඳ යහපත් අරමුණකට යොමු කරමු නේද? 



මේ පහත තියෙන්නේ මේ පැංචි ගේ තාත්තාගේ විස්තර හා ගිණුම් අංකය.

R.M.Kumara Rathna Nanayakkara 
701852184V 
49/C, Pulleyar Junction, 
Nuwara Wewa Rd, 
Anuradhapura
0778175609/0257911009

R.M.Kumara Rathnana Nanayakkara 
220-2-001-9-0057299
People's Bank
Nuwara wewa Branch
anuradhapura



හෙට පිබිදෙන අනාගතයට ලස්සනට පිබිදෙන්න අපි අද උදව් කරමු නේද?










Monday, July 9, 2012

__ජනප්‍රිය වෙන්න දඟලන්නේ ජනප්‍රියත්වයට නුසුදුසු අයයි__





අපි කොයි කාගේත් යටි හිතේ යන්තමට හරි ආසාවක් තියෙනවා අනිත් අයගේ ගෞරවාදයට ලක්වෙන්න.බොහෝ දෙනෙක් සමහරවිට කැමති නැහැ ඒ බව පිළිගන්න.නමුත් අවංකවම හිතලා බැලුවොත් අපිට පිළිගන්න සිදුවෙනවා අපි සමහර වෙලාවට අනුන්ගේ ආදර ගෞරවයට, අගය කිරීමට , හොඳ නමක් අහගන්න, පිළිගනු ලැබීමට , ප්‍රසංශා ලැබීමට ටිකක් හරි කැමැත්තක් ඇති බව.
                                          ඇත්තෙන්ම අනික් අයගේ ආදරයට ගෞරවයට අවධානයට නිතරම ලක්වෙන පුද්ගලයා අනික් අය විසින් කොන්කරනු ලැබූ,අවමානයට, වෛරයට ලක්වූ පුද්ගලයාට වඩා සතුටින් ඉන්න බව.අනික් අයගේ ඇගයීමට පැසැසුමට ආදරයට ලක්වෙන කෙනා නිරෝගී ගසක් ලෙස වැඩෙන අතර නිතරම කොන්වෙන ප්‍රතික්ෂේප කරනු ලබන තැනැත්තා වදුල නිසා නොවැඩෙන කොළ කොඩවූ ගසක් වගේ යයිකීම නිවැරදි කියලා මට හිතෙනවා.
                                             පුංචි කාලේදී සුරතලේට ආදරේට  ලක්වෙන දරුවා මනසින් නිරෝගී පුද්ගලයෙක් ලෙස වැඩෙද්දී... කිසිවෙකුගේ ආදරයට අවධානයට , දුක් කම්කටොලු පවුල් අඬදබර නිසා පීඩා විඳින දරුවන් ඉතා ගුප්ත හැකිලුනු අසම්පුර්ණ වැඩිහිටියන් පත්වීම මනෝ විද්‍යාඥයින්ගේ සොයාගැනීමයි.ඉතින් අපිට වැටහෙනවා අපිව අනික් අය අගය කිරීම ආදරයට පැසැසුමට ලක් කිරීම හැම මිනිහෙකුගේම වර්ධනයට සතුටට අවශ්‍ය දෙයක් බව.එත් ඒ අවශ්‍යතාව අපි ලබාගන්නේ කොහොමද කියන එකයි මෙහිදී පැනනගින ප්‍රධාන ගැටලුව.අවාසනාවට වගේ මේ අගය කරනු ලැබීම පැසැසුමට ලක් කරනු ලැබීම කිසිම විදිහකින් බලෙන් ගන්නවත් සල්ලි දීලා ගන්නවත් ආයාචනා කරලා හිඟා කාලා ලබාගන්නවත් බැරි දෙයක් බව අපි ගොඩාක් අය පිළිගන්න අකමැති ඇත්තක්.
                                   ටිකක් හිතලා බලන්න ඔබ සමහර මිනිස්සුන්ට  ගොඩාක් කැමති වගේම ඔබට පෙන්නන්න බැරි නොයෙක් තරාතිරම් වල මිනිස්සුත් ඉන්නවා නේද? සමහර අයට ඉන්නේ ගොඩාක්ම ඒ වගේ අය. අපි නොයෙකුත් හේතු නිසා මිනිස්සුන්ව අගේ කරනවා.එත් කවුරුහරි ඇවිත් "අනේ මට ආශා කරන්න" "මාව පිළිගන්න " "මාව ප්‍රශංසා කරන්න " කියලා කියුවත්, සල්ලි දුන්නත් ඔබ ඇත්තටම ඒ තැනැත්තාව ප්‍රිය කරන්නේ නැතිනම් ඔබ ඔහුට කැමති නැහැමයි නේද? වෙන වචන වලින් කියුවොත් ඔබේ ලෝකයේ ඔහු වැදගත් පුද්ගලයෙක් නෙමෙයි නේද?
                                                   ඉතින් එක්තරා විදියකට මෙහෙම අපි සමහර අයට කැමති වීම හා අකමැති වීම හරිම පුදුම දෙයක්.සමහර අයට අපි කැමති ඇත්තෙන්ම අපි දන්නා හේතු නිසා වගේම සමහර අපිට නොතේරෙන හේතුත් ඒ දේවල් වලට බලපානවා.ඉතින් මම කලිනුත් කියුවා වගේ අනිත් අයගේ ගෞරවයට ආදරයට ලක්වීම අපිට අවශ්‍ය දෙයක් වෙන්න පුළුවන්. එත් ඒ දේ බලෙන් ලබාගන්න බෑ.එහෙනම් මම අද කියන්න යන දේත් එකමයි. "ජනප්‍රිය වෙන්න දඟලන්න එපා".හොඳට මතක තියාගන්න ජනප්‍රියත්වය කියන්නේ ඔබට ලැබෙන තෑග්ගක්.නොඉල්ලා ලැබෙන දෙයක්.එත් ජනප්‍රියත්වයට පත්වීමට තොරතෝංචියක් නැතුව මැරීගෙන එක එක දේවල් කිරීමෙන් වෙන්නේ ඔබ කලකිරීමට අපහසුතාවයට පත්වීම විතරයි.
                                                                                                                     ඔබට යම් හැකියාවක් ඇත්නම් අනුන්ගේ යහපත තෘප්තිය සතුට වෙනුවෙන් එය යොදවන්න.ඔබට දක්වන පැසසුම් ඇගයීම් ඔබට ලැබෙන තිලිනයයි.මිනිසුන් ඔබව වර්ණනා කලාට , ඔබට කැමති වුනාට , නැතහොත් ඔබ "ජනප්‍රිය" උනාට ආඩම්බර වෙන්න එපා. මොකද ජනප්‍රියත්වය කියන දේ ඕනෙම වෙලාවක ඇති වෙන්න පුළුවන් වගේම නැති වෙන්නත් පුළුවන්. නිතරම නිහතමානිව ලබන සතුට ඔබව තෘප්තිමත් කරනවා හැමදාටම.....



---------------------------------------------------------------------------------------------------




                                                        බස් රේඩියෝ බ්ලොග් සතිය

Thursday, June 28, 2012

හිත මිතුරු සුළඟ......





කොහොමද හැමෝටම?
ඔන්න කාලෙකින් ආවා පුංචි කාලේ කරපු වැඩක් අද හදිස්සියේම මතක් වෙලා, ඒ දේ අකුරු කරලා යන්න. වැඩ අධික කමත් එක්කම බ්ලොග් ලිපි කියවන එක ටිකක් ප්‍රමාද වුනත් කොහොමහරි වෙලාව හොයාගෙන එව්වාත් කියවනවා. සමහර ලිපි කියවද්දී මැරෙන්න හිනා.. අන්තිමට ඔෆිසියේ උන්ගෙනුත් නොන්ඩි වෙනවා :( :පි
හරි දැන් එමු කතාවට.
මේ වෙද්දී මගේ වයස අවුරුදු 7 ක් . ඒ කියන්නේ මම 2 වසරේ. අපේ මල්ලි මොන්ටිසෝරියේ. අපේ පාරේ ගේ එහා පැත්තේ තිබුනා ගෙවල් දෙකක්. එක ගෙදරක හිටියා 5 වසරේ අයියා කෙනෙක්. අනිත් ගෙදර හිටියා 1 වසරේ මුස්ලිම් මල්ලි කෙනෙක්. ඉතින් අපි කට්ටිය තමයි සෙල්ලම් කරන්නේ. සෙල්ලම් කියුවේ ඉතින් ගල් 7 ගහනවා, ටකරං සෙල්ලම් කරනවා. සෙල්ලම් ගෙවල් හදනවා.හැංගිමුත්තං කරනවා. හැඟෙන්නේ මහපාරේ තමයි. ලොකු වතු නැහැ ඉතින් දුවන්න.නැත්තම් ගෙවල් අස්සේ. ගෙවල් ඉස්සරහා තියෙනවා මහා පාරට මුහුණලා අතුරු පාරක්. අන්න එකේ තමයි සෙල්ලේම් කරන්නේ.  ඉතින් අපි ඔක්කොම පොඩියි නේ.. අඬනවා කෑ ගහනවා. මගේ කට හෙන සද්දයි පොඩි කාලේ. කෑ ගහද්දි හීනියට සද්දෙට ඇහෙනවා. ඉතින් අනිත් උන් බයයි මම කෑ ගහද්දි. :D


අපේ ගෙදදරම සයිඩ් එකේ එළියේ තමයි අපි සෙල්ලම් ගෙවල් හදන්නේ. රෙදි වලින්. වහලට පැදුරක් දානවා. ඔහොම සෙල්ලම් ගේ හදන දවස් වලට අපි අපේ බාප්පිගේ පුතාටත් එන්න කියනවා. උදව්වට. එයා ඉන්නේ 3 වසරේ. එයාට ගස් වලට එහෙම නගින්න පුළුවන්. ඉතින් ඔහොම අපි හැම වාරයකදීම සෙල්ලම් ගෙයක් හැදුවා. ඒ කියන්නේ අව්රුද්දට 3 න් පාරක්. සෙල්ලම් ගේ හැදුවම මම තමයි අම්මා, අර අයියා තමයි තාත්තා. අපේ මල්ලි තමයි බබා. අර මුස්ලිම් මල්ලි තමයි එ‍හා ගෙදර මිනිහා. ඉතින් අපි රණ්ඩු කරගන්නවා එයා එක්ක අපේ ගෙදරට කුණු දානවා කියලා.
දවසක් අපේ බාප්පිගේ පුතා ඉන්න දවසක එයා නුලකට පොල්කටු දෙකක් ගැට ගහලා එක පොල්කට්ටක් එක්ක එයා අපේ ගේට්ටුව ගාවට ගිහින් ඔත්තු බලනවා. අපේ අයියා තමයි කඩාකප්පල්කාරයා.අපේ අයියා එනවද කියලා තමයි ඔත්තු බලන්නේ. එනවානම් පොල්කට්ටට කියනවා. අපි මෙහෙ ඉඳං අහගන්නවා. එත් ඇහෙන්නේ නැහැ. ඉතින් අයියා ඇවිත් ගේ කුඩුකරනකම්ම අපි දන්නේ නැහැ. එතකොට අපේ අයියාත් 5 වසරේ. එත් අපි එක්ක සෙල්ලම් බත් උයන අයියාත් අපේ අයියට බයයි.


දැන් ඔන්න ඊළඟ අවුරුද්දේ අපි ටිකක් දැන් ලොකුයි. මම 3 වසරේ. අපි එදාත් නිවාඩුකලේ සෙල්ලම් ගෙයක් හැදුවා. දැන් ඔන්න ගේ ඇතුලට වෙලා තමයි අපි දවල්ට බත් කන්නෙත්. අපේ ගේ ළඟ තියෙනවා ලොකු කඩයක්. අපි එදා සල්ලි එකතුකරලා ඒ කඩෙන් ජුජුබ්ස් ගෙනාවා. අපේ අයියා ඇවිත් මග රැකලා ඒවා අපෙන් උදුරගත්තා. ඒ කාලේ ඉඳන්ම අපේ අයියා හැමදෙයක්ම බන්කලොත් කරන්නා විදියට තමයි අපි හැදින්නුවේ.
අපේ ගේ ඉස්සරහා ගෙදර ඉන්නවා කෙට්ටු අන්කල් කෙනෙක්. එයාට අපි කියන්නේ ඇටකෝට්ටා කියලා. එයාට ටිකක් විතර පිස්සු. එයා හැමදාම ඒ පාර අතුගානවා. එයා කියනවා ඒ පාර එයාගේලු. අපි සෙල්ලම් කරනවට කැමැති නැහැ. ඒ පාර අපේ සීයාගේ පාරක්. සීයාගේ නමට රෙජිස්ටර් කරපු. එයා කියනවා සීයා එයාට පැවරුවාලු. කිසිම ලියකිවිල්ලක්වත් පෙන්නන්නේ නැහැ හැබැයි. ඉතින් අපි හිතන්නේ එයාට පිස්සු කියලා. පුංචි කාලේ සෙල්ලම් කරද්දී අපිට බනින නිසා අපේ අයියාට වඩා එයා තමයි අපේ ලොකුම හතුරා වෙලා හිටියේ. ඉතින් මේ හතුරට හොඳ පාඩමක් උගන්නන්න කියලා අපි රහසිගත ප්ලෑන් එකක් ගැහුවා. ඒ ගස්ලබු බෝම්බයක් හදලා ඇටකෝට්ටා  ගෙදරට දාන්න. ඉතින් අපි මුලින්ම ගස්ලබු ගෙඩියක් හොයාගත්තා ටිකක් අමු එකක්.ඊට පස්සේ එකේ මදය හෑරුවා උල් පිහියකින්. ඊට පස්සේ ගිනි පෙට්ටි 5 ක් ගෙනල්ලා ඒවල ගින්දර පත්තුවෙන කළු හිස කොටස සුරලා ගත්තා. ඊට පස්සේ ඒක කොලයක තියලා ගැටගහලා එකට නුලක් සම්බන්ද කරලා නුල එලියට හිටින්න අර කුඩු තියෙන කොලේ එකට දැම්මා. දැන් නුල පත්තු කරාම නුල ඇවිලිලා ගිහින් අර වෙඩි බෙහෙත් පත්තු වෙලා ඩොන් ගලා ගස්ලබු ගෙඩිය පුපුරයි. එතකොට ඇටකෝට්ටාගේ ගේ ගිනිගනී කියලා.
                             දැන් බොම්බේ ඇටකෝට්ටාගේ ගේ ඇතුලෙන් තියන ඒක තමයි ඊළඟ වැඩේ. අපි අර මුස්ලිම් පොඩි එකාව යැවුවා ඇන්ටි කියලා කතා කරන්න. ඊට පස්සේ ඇන්ටි ආවම බොලේ පිටිපස්සට ගියා කියලා ඇන්ටි බොලේ හොයන්න ගියාම ගේ ඇතුලෙන් අර බොම්බේ තියලා දුවලා එන්න.නුල දිගට දාලා තියෙන නිසා අපි නුල පත්තු කරලා ඈතට වෙලා කන් වහගෙන බලාගෙන හිටියා.


හෑ කිසිම සද්දයක් නැහැ අයියෝ අපේ බලාපොරොත්තු සුනේ සුන්. කෝකටත් තයිලේට  ඉන්න අර පොඩි එකාව යැව්වා බලාගෙන එන්න කියලා. මෙන්න මු ගස්ලබු ගෙඩියත් අරගෙනවා එනවා ගේ දොරකඩ තිබුනා කියලා. :((


කොහොම හරි අපේ ක්‍රියාව සාර්ථක උනේ නැහැ. අපි සෙල්ලම් ගෙදරට දුක් මුසු මුහුණින් එනකොට අපේ සෙල්ලම් ගෙදරත් විනාශ කරලා අපේ අයියා. ඔහොම්මම අපේ සෙල්ලම් ගේ හැදිල්ල නැවතුනා. අපිට ඇත්තටම එපා උනා. එත් හැමදාම සෙල්ලම් කරා.


අද වෙද්දී ඒ අයියා පෞද්ගලික බැංකුවක රැකියාවක නිරත වෙනවා. මං තුමිත් එසේමයි. අර මුස්ලිම් මල්ලි ත් එසේමයි. අපේ මල්ලිත් බැංකු ආශ්‍රිතව ඉගෙනුමෙහි නිරත වෙනවා. ඒ මිතුදම එදා වගේම අදත් එහෙම්මම තියෙනවා. මුස්ලිම් මල්ලි මේ වෙද්දී ටිකක් දුර පලාතක ජිවත් වෙන්නේ. අද දවල් ඒ දෙන්නම මාව හොයාගෙන අපේ ඔෆිසියට ඇවිත් අපි කල්පිටියේ පොඩි සංචාරයක්ගියා. අපේ මල්ලිව 3g කෝල් එකක් මගින් සම්බන්ද කරගත්තා. 
ඒ මිතුදම හැමදාම අපේ හිත් තුල රැඳෙයි... ඒ මිතුදම් සුළඟ අපේ හිත් තුල හැමදාම අමරණීයව තියෙයි. අපේ ජිවිත කැඩිලා බිඳිලා ගියත් අපේ මිතුදම හැමදාම ශක්තිමත් එදා වගේම අදත් හැමදාමත්. ජිවිතේ නැති වුනු දේවල් වලට අඬන්න වැළපෙන්නේ නැතුව හැමදාම අපි ළඟ තියෙන අපිට නොපෙනෙන දේ හොයාගන්න උත්සහා කරන්න. අපේ මිතුදමත් ඒ වගේමයි. හිත මිතුරු සුළඟ හැමදාම අපේ හිත් වලට හමයි... :))