Saturday, December 31, 2011

සුබ නව වසරක් වේවා....!!!


අවූරුද්දක් ගෙවුනේ පුදුම ඉක්මනින්. අපේ අම්මිත් කියනවා එහෙ හැරිලා මෙහෙ හැරෙද්දී අවුරුද්දකුත් ගෙවිලා නේද කියලා.
පහුගිය අවුරුදු 3 4 ම මගේ ජිවිතේ අහිමිවීම් විතරමයි තිබුනේ.. පොඩ්ඩක් ඉන්න මතක් කරන්න එක හිමි වෙච්ච දෙයක් තියෙනවද කියලා...... නැහැ. එකක්වත් නැහැ. මගේ ලග හිටපු අය , මම ගොඩාක් ආදරේ කරපු, කොටින්ම කියුවොත් මේ ලෝකෙන් මම වැඩිපුරම ආදරේ කරපු අය මාව දාලා ගිය අවුරුද්දක්.
   
                       පුදුමාකාර සිදුවීම් ගොඩකට මුහුණ දුන්නු මම තාමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා හැමදෙයක්ම විසදෙනකම්.කැමති නැහැ පොඩ්ඩක්වත් කිසිදෙයක් මගෙන් නැති වෙනවට. පුංචි කාලේ ඉදන්ම හැමදෙයක්ම ලැබුණු මට මේ අහිමිවීම් දරාගන්න ගොඩාක් අමාරු වුනා. එත් මේ ලෝකේ හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ කියලා හිතාගෙන හැමදෙයක්ම හිතේ තද කරගෙන ලෝකෙට හිනා වෙලා මුහුණ පෙන්නුවට මම ඉන්නේ ගිනි ගොඩක..
මේ බ්ලොග් එක ලියන එක තමයි මගේ එකම සතුට. බ්ලොග් ලෝකෙට ඇවිත් මාස දෙකක් උනාත් ගොඩාක් යාළුවො මුණ ගැහුනා. ඒ අය නිසා මම දැන් පුදුමාකාර සතුටකින් ජිවිතේ ගෙවන්නේ.
හෙට අනිද්දා ගාලු ටුවර් එකේදිත් ගොඩාක් අයව හදුනාගන්න ලැබේවි.
වැඩට යනවා ගෙදර එනවා හැරෙන්න ජිවිතේ මේ දුක නිවාගන්න ක්‍රමයක් තිබුනේ නැහැ මට. එකයි මේ ගමන යන්න මම ආසා වුනේ..


2011 වසරේ නොවුණු දේවල් එත් මම බලාපොරොත්තු වුනු දේවල් 2012 වසරේ වෙයි කියලා හිතනවා.
ඒ වගේමයි කිසිම දාක වැටුනේ නැති මම වැටුනා. එත් ආපහු නැගිටිනවා ආයේ කවදාවත්ම වැටෙන්නේ නැති වෙන්න. ඒ බලාපොරොත්තුව එක්ක 2012 අවුරුද්ද හොදින් ගත කරන්න බලාපොරොත්තු වෙනවා..
ඒ වගේමයි මගේ බ්ලොග් මිතුරන්ටත් 2012 වසරේ සියලුම බලාපොරොත්තු සපල වෙන සුභම සුභ නව වසරක් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. නම් වශයෙන් කියන්න ආසයි එත් එක නමක් හරි මග හැරුනොත් එක මම කරන ගුණමකු වැඩක් වෙනවා. මොකද මේ හැම මිත්‍රත්වයක්ම මට මහා මෙරක් වගේ වටිනවා...


ඉතින් හෙට දවස විතරක් නෙමෙයි 2012 වසරේ හැම දිනයක්ම සතුටින් ගත කරන්න ලැබේවා කියලා එක සිතින් ප්‍රර්ථනා කරනවා..

Thursday, December 29, 2011

මං මැරුණා..!!

හ්ම්ම් මම ලියුමක් ලියුවා එයාට. ගොඩාක් දිග ලියුමක්. දවස් ගානක් පද ගලපලා සිතිවිලි අකුරු කළා.. කියාගන්න තිබුණු ගොඩාක් දේවල් ලියාගන්න බැරි වුනා. එත් මොන මොනවදෝ ගොඩාරියක් ලියුවා. ලස්සන ස්ටිකර් දෙකකුත් අලවලා අපි දෙන්නගේ පින්තුරයකුත් එක්ක නත්තල් කාර්ඩ් එකක් ඇතුලට දාලා මම ලිපිය අවසන් කළා...
කොහොමද මම මේක දෙන්නේ දැන්??????????
ගියා ගෙදරටම. ගොඩාක් දුර. බස් එකේ ගියේ. දුන්නා ලියුම එයාගේ නංගිට. මේක දෙන්න අයියාට..
එකත් අරන් එයා ගියා ඇතුලට. මම දැක්කා ඒ නෙත් .. පොඩ්ඩක් අදුරු වෙලා. ඉස්සර තිබුණු එලිය දැන් නැහැ. ඉස්සර කතා කරපු ඒ ඇස් අද ගොළු වෙලා..
මගේ ඉස්සරහට ඇවිත් ලියුම කියවන්නෙත් නැතුවම ඉරලා දැම්මා.
මගේ හිත පොඩි වෙලා ඉරිලා කෑලි කෑලි වලට කුඩු වෙලා ගියා..
මේ ඇස් දෙකෙන් වැටුණු කදුළු කැට කොච්චරද කියලා මටවත් හිතාගන්න බෑ දැනටත්. ඇයි මම ඒ දේ බලන් ඉන්න බැරි තරමට එච්චර දුර්වල වුනේ? මම දුර්වල ගැහැනියක් වෙලා.  ලියුම ඉරලා මටත් මොන මොනවදෝ සද්දෙට කියලා ඇතුලට ගියා. ඔව් එයා ඇතුලට ගිහින් ගොඩාක් ඇඩුවා.. ඇයි මාව බලන්න ආවේ කියලා කෑ ගැහුවා. මගේ ඇස් ලේ රතු පාට වෙලා මට දරාගන්න බෑ වුනු කිසි දෙයක්.. 
මෙච්චර දවසක් මම මගේ මුළු ආදරේම කැටි කරලා මම හදාපු මගේ දරුවාව කෑලි වලට ඉරලා දානවා මට බලන් ඉන්න බැරි වුනා.
මම දිව්වා.. පිස්සෙක් වගේ දිව්වා.. ගොඩාක් දුර, සෙරෙප්පු දෙකක්වත් නොදාපු මගේ කකුල් දෙකේ ගල් ඇනිලා ලේ එනවා. එත් මට දැනුනෙවත් නැහැ. මම මහා බොලද කෙල්ලෙක්ද? කිසි දෙයක් දරාගන්න බැරි? මගේ යටි හිත කෑ ගගහා මට බැන්නා. එත් මම අසරණයි. දුවලා දුවලා ගිහින් නතර වුනේ බීච් එක ගාව. නුවර කොහෙද බීච්? එත් ඒ අපි හැමදාම හම්බුනු බීච් එක..අපි දෙන්න හැමදාම මුණ ගැහුණු තැන. එතන අපේ නම් කොටලා තිබුනා. ඔව් මම ඒවාත් දැක්කා. මගේ පපුව ගිනි ගත්තා. මේ ලෝකේ මට කව්රුත් නැහැ . මට එහෙම හැගීමක හිතට ආවා.. මම ජිවත් වෙන්නේ ඇයි.?
දිව්වා මම බීච් එකට. දුවගෙන ගියා මුහුදට. හයියෙන්. දෙපාරක් තුන්පාරක් මාව නොවැටුනා නෙමෙයි. එත් මගේ හිතේ ගිනි මගේ අඩි ඉස්සරහට එසෙව්වා..
මුහුදු රල කපාගෙන මම ඉස්සරහට ගියා. මුහුද මට අඩගැහුවා වගේ මට දැනුනා. ඈතින් මගේ තාත්ති අත් දෙක උස්සන් මං දිහා බලාගෙන මට කතා කළා. මම දිව්වා. 
මුහුදට මාව යට වුනා. නහයට හුස්ම ආවේ නැහැ. මම කෑගැහුවා.. අම්මේ....



මට ඇහැරුනා....
එක හීනයක්ද? මගේ ඇස් තාම තෙතයි.. මම අඩලා..
ඇයි අමතක කරන්න හදන හැමවෙලාවකම ඔහු මගේ මතකයට එන්නේ? මේ හීන මාව අසරණ කරනවා..
අනේ මට මැරෙන්න බෑ.. මැරෙන්න බය නිසා නෙමෙයි. මගේ අම්මා තනි වෙන නිසා. එවන් සිහින නැවත නොපමිනේවා...





ප.ලි.- අද උදේ මේ හීනෙ දැකලා, මගේ මුළු දවසම අප්සට් කළා. වැඩට ගියෙත් නැහැ... :(((

Monday, December 26, 2011

බටර්ස්කොච් මූස්..!!!

කොහොමද හැමෝම හොදින් ඉන්නවා නේද.. නත්තල් නත්තල් කියා කියා උන්නා දැන් නත්තලුත් ඉවරයි ඔන්.
නත්තල් කියද්දී ඉතින් කෑම ජාති තමයි හැමවෙලේම මතක් වෙන්නේ. අපේ මල්ලි නම් නත්තල් වෙනකම් බලාගෙන ඉන්නේ නත්තලට හදන කෑම ටික කාගන්න.
ඔන්න ඉතින් වර්ණා ත්  වර්නාගේ අම්මිත් එක්ක එකතුවෙලා නත්තලට කෑම ජාති ගොඩාක් හැදුවා.
එකින් එක හිමිට කියන්නම්කො.
ඔන්න අද පලවෙනි කෑම ජාතිය.මේක අතුරුපසක්. පත්තරේ තිබුනේ රෙසිපි එක. ඔන්න ඉතින් මම එක හැදුවා. දැන් කාලත් ඉවරයි. :D හොදට රසට තිබුණු නිසා හදන හැටි කියනම්. ඔයාලත් හදලා රසද කියලා කියන්නකෝ මට.. 

බටර්ස්කොච් මූස් (Butterscoth Moos) තමයි නම.

අවශ්‍ය ද්‍රව්‍ය-

                බිත්තර කහමද 7 ක්
                කිරි ලීටර 1 ක් (එල කිරි පැණි රස නැති.)
                සිනි  ග්රෑම් 350 ක් සහ වෙනම තව සිනි 200 ග්රෑම්
                ජෙලටින්  ග්රෑම් 40 ක්
                ඇස්ට්‍රා 180 ක්

සාදන ක්‍රමය-



                 මුලින්ම සිනි  ග්රෑම් 350 ලිප තබා සිනි මට්ටමට බාගයක් වෙන විදියට වතුර දාලා, ඒ කියන්නේ වතුර පොඩ්ඩක් වෙන්න, ලිපේ තියාගෙන එක දිගට හැදි ගාගෙන කැරමල් කරගන්න. කැරමල් වගේ එනකොට ලිපෙන් බාගෙන ඉක්මනට එකට බටර් ග්රෑම් 40 එකට දාගෙන දිය කරගන්න පහත රුපයේ ආකාරයට ඒවි එතකොට. ඔය මිශ්‍රණය පැත්තකින් තබාගන්න.


දැන් කිරි ලීටරය ලිපේ තබා උතුරවා ගන්න.කිරි උතුරවන විට ලිප නිවා දමන්න. දැන් එය පසෙකින් තබාගන්න.
බිත්තර කහමද ටිකට ඉතුරු සිනි ග්රෑම් 200 දමා හොදට බීට් කරගන්න.


ඉන්පසු එම බිත්තර සිනි මිශ්‍රණය උතුරුවා ගත්ත කිරි එකට දමන්න. ඒ මිශ්‍රණය දමන ගමන් හොදට මිශ්‍ර කරගන්න ඕනා.


දැන් එම මිශ්‍රණයට ජෙලටින් ටික කලින් උණුවතුර ටිකක දියකරගෙන එම ජෙලටින් ටික ඉහත මිශ්‍රණයට දමන්න.,,


හොදින් හැදිගාන්න.
       ඉන්පසු කලින් සාදාගත් බටර් කැරමල් මිශ්‍රණය ද මෙයට එකතු කරන්න.හොදින් කලවම් කරගන්න. මෙය ක්‍රීම් එකක් තරමට සැකසේවි.

ඉන්පසු විනාඩියක් පමණ මෙම මිශ්‍රණය නැවත බිටරයකින් බීට් කරගන්න.

බටර් කේක් හෝ චොක්ලට් කේක් සිහින් තට්ටුවක් අතුරාගත් කැමති හැඩයේ බෝල් එකකට මෙමෙ මිශ්‍රණය දමා ශීතකරණයේ තබන්න. ජෙලි එකක් වගේ වෙනකම් මෙය සෙට් වේවි.. :))

හදිස්සි වැඩි කමට පින්තුරයක් ගන්න කලින්ම කපලා කෑවා :))

හදලා ගුණ දොස් කියන්නකෝ..

වර්ණා ට නත්තලට අම්මි ගෙන් තෑග්ගක් හම්බුනා. බ්‍රේස්ලට් එකක්. :)) I Love you ammi :))))


Saturday, December 24, 2011

සුභම සුභ නත්තලක් වේවා

හ්ම්ම් දවස් දෙක තුනක් බ්ලොග් කියවන්නත් බැරි වුනා.. අනේ මට වැඩ ගොඩාක් තිබුනා. ඔෆිසියේ රාජකාරි ඉවර වුනු ගමන ගෙදර රාජකාරි නත්තල් නිසා.. නැත්තම් මම කොරයි ගෙදර වැඩ හිකිස්‌....
මටනම් ඔන්න නත්තල් තියෙනෝ මොකද මම කතෝලික.
හෙට අනිද්දට ආපහු එන්න බැරි වෙයි , ඇයි ඉතින් නත්තල් අපිට අවුරුදු වගේ තමයි..
එත් හිතේ සතුටක් නැතුව මේ සමරන නත්තල  කුමටද කියලත් හිතෙනවා.
ගිය අව්රුද්දෙ අපි නත්තල් ගහක්වත් හැදුවේ නැහැ. එත් අපේ අයියාගේ බලවත් ඉල්ලීම මත මේ අව්රුද්දෙ වර්ණා නත්තල් ගහත් සැරසුවා.
කෑම ජාති ගොඩාක් හැදුවා. හදන ගමන එවල පින්තුරත් ගත්තා. ඉක්මනින් ඒවා හදන විදියත් එක්කම බ්ලොග් එකේ දාන්නම්කො..

දැනුයි ඔන්න මම නත්තල් පුජාව ඉවර වෙලා ගෙදර ආවේ. ගෙදර අයටයි නෑයෝනටයි විශ් කරලා දුවගෙන ආවේ බ්ලොග් මිතුරන්ට සුභ පතන්න.

ඔන්න එහෙනම් මේ ලැබුවාවූ නත්තල සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා. කිරියෙන් පැණියෙන් ඉතිරේවා. තනිකඩයන්ට පර්ට්නර්ස් ලා ලැබේවා.. හිහි...
හැමෝගෙම හිතේ දුක තුනී වේවා.
එක එක්කෙනාව වෙන වෙනම සුභ පැතුම් එක් නොකලාට සමාව අයදිමි. මොකද එක්කෙනෙක්ගේ හරි නමක් මිස් වුනොත් තරහා වෙනවානේ.. :)))
එහෙනම් මම ගියෝ.;..

ප.ලි.
නත්තලට සාප්පු සවාරි යනකොට වෙච්ච හොද හොද රසවත් කතා ටිකකුත් තියෙනවා. ඒවාත් කියන්නම්කො...

Sunday, December 18, 2011

සහෝදරයෙනි ඔබට මොක් සුව

ජිවිතේ හරි පුදුමයි. අපි නොහිතන නොපතන දේවල් අපේ ජිවිතේ සිද්දවෙන්නේ. අපි මොන වැඩ්ඩා උනත් ලොක්කා උනත් අන්තිමේට හැමෝටම ඉතුරු වෙන්නේ අඩි 6 ක් ගැබුරු වලක්. ජිවත් වෙලා ඉන්න ටික කාලේ අපි කරන කියන දේවල් තමයි අපි මැරුණට පස්සේ ඉතුරු වෙන්නේ. මරණය කියන දේ කොයි මොහොතේ අපිව තුරුළු කරගනිද කියන්න බැහැ.. උපදින හැමෝටම මරණය කියන දේ කවදාහරි අත්විදින්න වෙනවා කියලා ඔබ අපි දන්නවා උනත්  අපේ ලගම කෙනෙක් නැති උනාම ඒ දේ විශ්වාසකරන්න අපිට බැරි බැදීම් කියන දේත් එක්ක අපි ජිවත් වෙන නිසා. බැදීම් කොච්චරක් දුරට දුකක් උනත් සතුටක් උනත් අපිට එවලින් තොරව ජිවත් වෙන්න අමාරුයි.
මම මේ කියන්න යන දේ ඔයාලා දන්නවා ඇති. නොදන්නවාත් ඇති.
කොහොම උනත් මෙයාල වෙනුවෙන් මම මගේ බ්ලොග් පිටුවක් වෙන් කරන්නේ මෙයාල ඒ තරමටම මට සුවිශේෂී නිසයි.
 කුඩා කල සිටන්ම මගේ මිත්‍රයෝ.මගේ වැලි කෙලියේ යාළුවො,නෑදෑයෝ. පොඩි කාලේ ඉදන් දුකට සැපට එකට හිටියේ මේ අයියලා රොත්ත තමයි. ඉස්සර නත්තලට කැරොල් කියනවා අපි හැමෝම රැ 12 පුජාවෙන් පස්සේ. ඒ තරමටම පුදුම බැදීමක් අපි අතර තිබුනේ. අපි ලොකු වුනාට පස්සෙත් ඒ බැදීම පොඩ්ඩක්වත් අඩු වුනේ නැහැ. සංගීතයට පුදුම දක්ෂතාවයක්, ඒ නිසාම සංගීත කණ්ඩායමකුත් හදාගත්තා. Hard Black,  සැරින් සැරේ tv එකෙත් පෙන්නලා තියෙනවා මෙයාලව. ඊයේ දිනයේ හදිස්සි මාරක අනතුරකින් මේ සහෝදරයන් අතරින් දෙන්නෙක් අපේ ජිවිත වලින් විතරක් නෙමෙයි මේ ලෝකෙන්ම සමුගෙන ගියා. හෂාන්ත අයියයි ෆ්‍රෑන්ක් අයියයි  තමයි අපිව දාලා ජේසු ගාවට ගියේ.


හැම නත්තලකටම ෂෝ එකක් සංවිදානය කරනවා. මම ත් සංවිදායක මණ්ඩලේ ඉදලා තියෙනවා ඔකේ. හිහි. මේ 23 වෙනිදට තියන්න කියලා බැනර් ගහලාත් තිබුනේ.


 හරිම එකමුතුව හරිම සංයමයකින් ඉදපු අයියලා කට්ටියක්.  ඉතින් මේ බැදීම් නැති වෙනකොට හිතට පුදුමාකාර දුකක් දැනෙන්නේ. 

නැති වුනු එක අයිය කෙනෙක් හෂාන්ත. අපේ ගෙවල් ලගමයි. මගේ නෑයෙක්. මේ 23 වෙනිදා කසාද බදින්නයි හිටියේ. මේ ගිය සතියෙත් බැංකුවට ඇවිත් මාව දැකලා නංගි කියලා ලගට ඇවිත් මාත් එක්ක කතා කළා. වෙඩින් එකට එනවා නේද? මේ සාරි පටලවාගෙන එන්නේ එහෙම නැහැ හෝම් කමින් එකට , ගවුමක් ඇදගෙන වරෙන් කියුවා. මට දැන් මතක් වෙද්දීත් ඇස් දෙකට කදුළු එනවා. ඒ අයියා ගේ තාත්තා ත් එයාව දාලා ගියා මිට අවුරුදු 5 කට විතර කලින්. 
නැති වුනු අනිත් අයියා ෆ්‍රෑන්ක් , අපේ ගෙදර නිතරම එනවා. අපේ බප්පිගේ පුතා එක්ක. හරිම හොද අයියා කෙනෙක්. එයාගෙත් තාත්ති නැහැ. දෙන්නගෙම වයස 23 යි.මේ අයියලා රොත්තම අපිට පුදුමාකාර ශක්තියක් වුනා අපේ තාත්ති නැති වුනු වෙලේ. හැම තැනටම දුවල පැනලා වැඩ කළා. මගේ හිත ගොඩාක් හැදුවා.


මුණු ඔක්කොම කුඩු පට්ටම් වෙලා ඒ මාරක අනතුරින්. එදා එයාල වෙඩින් එකකට ගිහින් සින්දු කියන්න. රෑ ගෙදර එද්දී තමයි ඩ්‍රයිවර් ට නින්ද ගිහින් අනතුර වෙලා තියෙන්නේ. අනතුර වුනු අනිත් අයියලා 6 දෙනාගෙන් එක්කෙනේක්ටවත් තාම සිහියක් ඇවිල්ලා නැහැ. එක්කෙනෙක්ගේ හක්ක පැනලා. එක්කෙනෙක්ගේ දිව කැපිලා. තව එක්කෙනෙක්ගේ දත් නැහැ. අනේ මෙහෙම වෙන්න තරම් ඒ අසරණයෝ කරපු පව මොකක්ද.

මැරුණු ශරීරෙට අන්දලා තියෙන්නේ වෙඩින් එකට ගත්ත ඇදුම. පෙට්ටිය වටේට වෙඩින් කාර්ඩ් වෙඩින් ක් පෙට්ටි තියලා. දැක්කම සංසාරේ එපා වෙනවා. පුංචි කාලේ ඉදන්ම මගේ ඇස් මානේ ඉදන් සෙල්ලම් කරපු අයියා නේද මේ කියල දැනෙනකොට ඇයි මෙහෙම නැති වෙන්න ඉපදෙන්නේ කියලා හිතෙනවා...


මේ තියෙන්නේ අනතුර වුනාට පස්සේ එයාල ගිය වාහනේ තිබුණු හැටි.. ඊට පහලින් තියෙන්නේ වාහනේ ගැටුණු ලොරියේ හැටි.



හ්ම්ම් ජිවිතේ හැටි ඔහොම තමයි කියලා හිත හදාගන්න අමාරුයි. කොහොම උනත් මේ සිද්දිය මුළු ගමම සසල කළා. මොකද මුළු ගමේම ආදරේ දිනාගත්ත දෙන්නෙක් තමයි අපිට නැති වුනේ.


මේ පහල තියෙන වීඩියෝ එක වෙඩින් එකකදී ගත්ත එකක්.. හ්ම්ම්/


පිනි මුතු කැට කදුළු බින්දු
කඩා හැලෙන ඇසිපිය උඩ
පරමලකින් සරසුවේ ඇයි
සුළග එක්ක විසිර යන්න


දෙව් මව් වෙත බාරදෙමින්
මතු උපදින හැම භවයේත්
ඔබ අප සහෝදරයන් වී
ඉපදෙමු යලි සතුටු සිතින්




අයියේ හැමදාමත් ඔයාල දෙන්නා අපේ මතකයේ සදා අමරණියයි.
ඔබට මොක් සුව...


ඉක්මනින් ආපහු ඉපදිලා එන්න අපි ලගට.
ජිවිතේ විදින්න බැරි උනත් ගොඩාක් කාලයක් ඔයාල අපේ ජිවිත වල හැමදාමත් කොටස්කාරයෝ.
ජිවිතේ සුන්දරයි කියන හැම අවස්ථාවකදීම අප ලබන එකම ජයග්‍රහණය කදුලත් වේදනාවත් පමණයි අයියේ.

You will always be in Our hearts...
Will always remember the time We had in same neighbourhood..
In sweena teacher's class...
In Leo and  all the parties we had...
You were always there for friends...
A good son.. a good brother..
A good lover.. a great friend . and an awesome human being...
Still can't believe...
We will miss u... 
RIP





Friday, December 16, 2011

මගේ සුරතල්ලු...!!

මේ දවස ටිකේ සුරතල් සතුන් ගැන පොස්ට් ගොඩාක් කියෙව්වා. . හිතුවක්කාරී ගේ බව්වා ගැන කියෙව්වා, එතකොට වර්ණ ලියන අයියාත් ලියලා තිබුනා. ඇයි අපේ අසරණයා ත් කුකුලා ගැන කියලා තිබුනා. මෙන්න මේවාට ගිහින් ඔයාලත් කියවන්න.


 හිතුවක්කාරිගේ හිත- බලු මෙහෙයුම
වර්ණ-අපරාදයක් සැගවුවෙමු
අසරණයා-කුකුළා උඹට නිවන්සුව!!!


මේවා කියවලා මමත් හිතුවා මගේ සුරතල්ලු ටික ගැන කියන්න.

මොකද මතක ඇති දා ඉදන් අපේ සුරතල් සත්තුන්ගෙන් අඩුවක් තිබුනේ නැති නිසා.. මුලින්ම නිකී කියලා ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ ලොකු බල්ලෙක්. එයා මටත් වඩා  උසයි මම 5 වසරේ ඉද්දි හැබැයි හිහි.. අපි හැමෝම එයාට මහා ගොඩාක් ආදරේ කළා. එයා ගැහැණු සතෙක්. ඉතින් එයා ගෙනත් මාස 5 කින් විතර  අපේ අන්කල් කෙනෙක්ගේ පොරේට එයාගෙනුත් බව්වෙක්ව ගත්තා, එයාගේ නම බිතෝවන්. ඒ දවස්වල ගිය චිත්‍රපටයක හිටපු බව්වෙක් ගේ නමක් තමයි ඒ. ඉතින් අපි ඒ කාලේ දන්නේ නැහැ බිතෝවන් කියන්නේ සන්ගිතච්යයෙක්  කියලා.  කොහොම හරි එයාත් ජර්මන් ෂෙපර්ඩ්  වර්ගයේ පිරිමි බලු පැටියෙක්, දෙන්නම එද්දී ගොඩාක් පොඩියි. කොහොමහරි දෙන්නා ලොකු වෙලා අම්මා කෙනෙකුයි තාත්ති කෙනෙකුයිත් වුනා :) ඒ මම 8 වසරේදී වගේ.
ඉතින් එක පේලියට මෙයාල පුංචි පැටව් 8 දෙනෙක් මේ පුංචි පවූලට එකතු කළා.
ඇස් ඇරලවත් නැති පුංචි අය ගොඩාක්. මමයි මල්ලි එයාලව ගොඩාක් ආදරෙන් ලොකු කළා.එක පෝලිමට තියලා කිරි පෙව්වා. පුංචි ළමයින්ට වගේ සමහර අයට කිරි පොවන බෝතල් වලට දාලා පෙව්වේ. :) ටිකක් ලොකු වෙනකොට දත් එනකොට එයාලට බව්වන්ට වෙනමම තියෙන කෑම පැකට ගෙනත් දුන්නා, බත් දුන්නා. මට මතකයි අපේ තාත්ති නිවාඩු දවස් වලට ඔක්කොමල්ලවම නානකාමරේ බාත් ටැබ් එකට දාලා නාවනවා. ඒ දවස්වල අපි පුදුමාකාර සතුටකින් හිටියේ. අපේ පව්ලේ බැදීම මේ සුරතල් සත්තු ටික නිසා ගොඩාක් වැඩි වුනා. දැන් ඉතින් එකා දෙන්නා මේ අසරනයන්ව ඉල්ලනවා අපේ ගෙදරටම ඇවිත් අපේ තාත්තිගේ යාළුවො, කෝල් කරලා ඉල්ලනවා. අපේ බප්පිලා  ඔක්කොමල්ලම.ඉල්ලපු දෙයක් කාටවත් අපේ තාත්ති නොදී ඉදලා නැහැ.අනික අපිට ඔක්කොමල්ලවම හැමදාම තියාගන්න අමාරු නිසා හැමොමවම එක එක්කෙනාට දුන්නා. බව් අම්මයි තාත්තයි විතරයි අපි ගාව නතර උනේ.. :(




ටික කාලෙකින් නිකිට පසුපස කකුල් පන නැති වීමේ රෝගයක් ආවා. කොච්චර බෙහෙත් කලත් හොද වුනේ නැහැ. එයා අපිව දාලා ගියා මේ ලෝකෙන්ම. දැන් අපිට ඉතුරු බිතෝවන් විතරයි. නිකී නැති වෙලා ටික දවසකින්ම එයාත් නැති වුනා.. ගොඩාක් අය කියුවේ එයාලගේ පැටව් වෙන් කරපු නිසාද දන්නේ නැහැයි කියලා. කොහොමත් නොහිතපු විදියට හැමෝම අපේ ජීවිතෙන් ගියා. ඊටපස්සේ අවුරුදු 3 ක් විතර අපේ ගෙදරට කිසිම සුරතලේක්ව ගෙනාවේ නැහැ. හැමෝම ඒ සිද්දියට කම්පා වෙලා හිටියේ

මේ නම් ගුගල් එකේ පින්තුරයක් , අපි නිකිත් මෙයා වගෙමයි.

.අවුරුදු 3 කට පස්සේ  වෙනස් ආකාරයේ බව්වේ අපේ ගෙදරට ගෙනාව. මම බල කරලාම. එයා TZU කියන ජාතියේ බව්වෙක්. එයාට අපි නිකී කියලම දැම්මා.මේ ඉන්නේ එයාගේ වර්ගයේ වෙනත් බව්වෙක්.මෙයා අපේ නිකියා වගේමයි. (නිකිගේ එකම පින්තුරයක් වත් මට හම්බුනේ නැහැ හෙව්වට.)


මෙයා මුලින් හිටපු අය වගේ නෙමෙයි පෙනුමෙන් ගොඩාක් වෙනස්. ගොඩාක් හුරතල්. නිදියන්නේ ඇද උඩ, සැටියේ.  එයාව අපි ගේ ඇතුලේමයි ඇති කලේ. මෙයා මම කන අයිස් ක්‍රීම් හිටන් කනවා. කොච්චර අපිට හුරතල්ද කියනවනම්, දවසක් මෙයා අම්මිගෙයි තාත්තිගෙයි ඇදෙ දොයි. පස්සේ අම්මි තාත්ති එයාව මැද්දේ තියලා නිදියගත්තේ. තෝරු දෙන්නා මැද හාල්මැස්සා වගේ. හිකිස්‌.
මට එයාව මතක් වෙද්දීත් ඇස් වලට කදුළු එනවා :( එයා අපි ගාව අවුරුදු 1 1/2 ක් හිටියේ. තාත්ති ඔෆිස් යද්දී මෙයා තාත්තිගේ වාහනේ පස්සේ ගිහින් එයාව අපිට හැමදාටම නැති වුනා. අපි පත්තරේ ඇඩ් එකකුත් දැම්මා . එත් එයාව හම්බවුනේ නැහැ. අපේ තාත්තිට පපුවේ අමාරුවත් හදුනා. අපි ඒ තරමට එයාට ගොඩාක් ආදරේ කළා. එයා නැති වෙලා සතියක් යනකම්ම අපේ ගෙදර බතක් ඉයුවේ නැහැ.
එදායින් පස්සේ අපේ ගෙදරට බව්වෝ ගේන්නෙම නැහැ කියලා අපි ලොකු තීරණයක්‌ ගත්තා.අව්රුද්දක් විතර ගත වුනා.
ඊට පස්සේ අපේ ජීවිතවල ලොකු ලොකු හැලහැප්පීම් වගයක් සිද්දවුනා. එක දවසකින්  එක පාරටම අපේ අම්මි කෑගැහුවා පුසෙක් කියලා. මම පුසන්ට ආසම නැහැ. මොකද මගේ නම් පට්ටම පූසි. අපේ පුංචි මට පූසි කියලා නමක් දැම්මේ මම කෑගහද්දී පුසියෙක් කෑගහනවා වගේලු. එදයි මෙදා මට පුසන්ව පෙන්න බැහැ. අප්පිරියයි. මමත් දුවලා ගියා අම්මිගේ සද්දෙට. මෙන්න බොලේ කළුම කළු පුසෙක් අපේ තාප්පේ ඇතුලට ඇවිත්. මම කෑ ගැහුවා ඔකාව එලවන්න අම්මි කියලා. කොච්චර එලෙව්වත් එයා ගියේ නැහැ. කොහෙටද මන්දා අරන් ගිහින් දැම්මා එත් ආපහු ආවා. එයා පුoචි පුසෙක්. එතකොට ඉපදිලා දවස ගානක් ඇති. අම්මිට දුක හිතිලා කෑම දුන්නා.මමනම් බලන්නවත් ගියේ නැහැ. දැන් මෙයා අපේ ගේ අස්සට එන්නේ නැහැ, එත් වටේ ඉන්නවා. මෙන්න බොලේ දවසක් මම දැක්ක කොළ ගුලියකට අතින් ගහගෙන ගහගෙන යනවා ෆුට් බෝල් ගහනවා වගේ. පස්සේ අපේ අම්මි බෝලයක් ගෙනත් දුන්නා එයාට සෙල්ලම් කරන්න. දැන් ටික ටික මමත් එයාට ආසයි. එයා ටිකක් ලොකු වුනා,. මෙන්න බොලේ උඩ පැන පැන ඩාන්ස් දානවා. මම එහෙම කරන පුසේක්ව දැකලාම නැහැ. මෙයා දැන් ගේ ඇතුලේමයි. දැන් එයා අපේ ගෙදර සාමාජිකයෙක් වගේ. මමත් එයාට ගොඩාක් ආදරෙයි. අපි හවසට සෙල්ලම් කරනවා.


දවසක් අම්මිගේ පස්සෙන් පාරේ ගිහින් එයා බයික් එකකට හැප්පුනා. එයා දුවලා ගෙදර ආවේ. කිසිම ලේ පැල්ලමක් නැහැ. එත් බිම දිගා වුනා. අම්මි දුවගෙන ආවා කෑ ගහගෙන.එයා පණ අදිනවා. ඒ වෙලේම අපි එයාව අරන් ඉක්මනට පශු වෛද්‍ය ගාවට අරන් ගියා. අනේ එතකොටත් එයා අපිව දාල ගිහින් ඉවරයි. අම්මි කෑ ගහලා ඇඩුවා. මමත් හොදටෝම ඇඩුවා. එයාට අපි කියුවේ කිටියා කියලා. කිටියා අපේ ජිවිත වල හිටියේ හියටම මාස 3 යි. දැන් එයා නැති වෙලාත් මාස  3 යි.
එකම එක පින්තුරයයි එයාගේ තියෙන්නේ මන් ගාව.
ඔන්න ඔහොමයි මගේ සුරතල් සත්තු ටික මාව දාල ගියේ.  අපේ අම්මි තනි වුනු දවස 10 ක් තිබුනා, ඒ දවස 10 මගේ අම්මාව බලාගත්තේ මේ අසරණ සත්තු.  .මනුස්සය්ක් වගේ අපේ ලෝකේ බැදීම් ශක්තිමත් කරපු ඒ අසරණ සත්තුන්ට මම පණ වගේ ආදරේ කළා. එයාලා නැති අඩුව මට තාමත් දැනෙනවා. 





Thursday, December 15, 2011

වසන්තය ඔබම විය

මා පැතූ,, මා මැවූ..
සිහිනය ඔබ විය....
මා සිතට සිහිල දුන්'
වසන්තය ඔබම විය...
තනිකමේ සුසුම් වැල්
සදා දවනා විට
නොනිත්වා ආදරෙන් ලග උන්නු 
මද පවනද ඔබම විය...
ආදරෙයි සදා..
මේ හුස්ම වැටෙනා තුරා..
දහස් නෙක මේඝයන්
අනෝරා වැසි වැස්සවුවද
මුළු ලොවට එරෙහිව
උදා වදිමි තනියම 
අපි අපේ වෙන්නට
අහස ගව්වට දුරින්
ආදරෙන් සැනහෙන්න.....
මම කැමතිම පින්තුරයක්

Tuesday, December 13, 2011

හිස් අහස

මම 
හිනා උනා
හිස් අහසට....
වලාකුළු මුකුත් නැති
නිකම්ම නිකන්
හිස් අහසක්...
හරියට මගේ ජීවිතය
කැඩපතකින් දැක්කා වගේ...,
මගේ ජිවිතයට
මමම හිනා උනා
උඹ දැන්
හිස් අහසක්...

Saturday, December 10, 2011

කොහොමද මුණ

මම ඉතින් සතියක් යනකම් බෙඩ් රෙස්ට් නිසා ඉතින් ගෙදරම තමයි. අපේ අම්මාගේ පරම්පරාවේ ඉන්නේ ගෑනු ළමයි 3 න් දෙනයි. මම තමයි වැඩිමල් :)) අනිත් එකා 11 වසරේ, පොඩි එක්කෙනා 5 වසරට සමත්. ඉතින් මේ දෙන්නා අද ආවා මගේ ලෙඩ බලන්න. ඉතින් කෙල්ලෝ 3 න් දෙනෙක් එකතු උනාම හිතාගන්න පුළුවන්නේ. මගේ කාමරේ වැනසුවා.  අනික අපි 3 න් දෙනාගේම කටවල් ලිහිනියි, ඒ නිසා හොදට ඇහෙනවා .හිකිස්‌.
 පොඩි එක්කෙනා ගේ නම පාරමී.ඔන්න ඉතින් අපි එයාගේ පිස්සු පින්තුර වගයක් ගත්තා.  මද්දු නංගි ඒවා ටික පරිගණකය තුලට දැම්මා. මමයි පොඩි එක්කෙනයි ඇදෙ චිත්‍ර ඇද ඇද හිටියේ, ටිකකින් පොඩි එක්කෙනා චු බරයි කියලා ගියා. මද්දු යි මමයි පාරියගේ පින්තුරයක් එඩිට් කොලා. හික් හික්. එක හදලා ඉවර උනාට පස්සේ අපිටත් බය හිතුනා. එයාට කොහොම බය හිතෙන්න ඇද්ද. 
අම්මෝ ටිකකින් මෙයා ආවනේ කාමරේට. අපි පෙන්නුවා ඉතින් මෙන්න පාරි මේ ඉන්නේ ඔයා කියලා,මෙකි කෑ ගැහුවා නේද බයවෙලා. මර ලතෝනි දීලා ඇඩුවත් එක්ක. අපිට ගැහුවත් එක්ක :((( මහම්මේ කියලා කෑගහගෙන ගිහින් අපේ අම්මිටත් අපිව අල්ලලා දුන්නා. :((( අපි පව් නේද.. අන්තිමට එයා කියන දඩුවම ඉෂ්ට කරන්න අපි කැමති උනා, පරාජය පිළිගත්තා, පැය කාලක් දනගහගෙන හිටියා :(((  

බලන්න මේක එතරම්ම කැතද? අපි ඇවිස්සුවේ කොහොමත් ඔයාගේ මුණ මේ වගේ තමයි කියලා ;;හිහි.



Friday, December 9, 2011

අකම්පා

කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් ලියන්න බැරි වුනා මොකද වර්ණා දැන් ටිකක් කාර්යබහුල වෙලා. අලුත් රැකියාව, අලුත් මුහුණු, අලුත් රාජකාරි. වගකීම් කියන දෙයක් ඔලුවට ඇවිල්ලා නිසා නුහුරු දිවි පෙවතක් මේ දවස් වල මම ගතකරන්නේ. රාජකාරිය දේවකාරිය කියලා කියමනක් තියෙනවානේ, ඒ කියමනට සාධාරණයක් ඉෂ්ටකරන්න මම ඉතින් රාජකාරිය අකුරටම ඉටු කරනවා. කාලය කොච්චර හිග උනත් මම මගේ හිතවත් බ්ලොග් මිතුරන්ගේ බ්ලොග් අඩවි වල පොස්ට් බලන එකනම් අමතක කලේ නැහැ, :)))  


                                                                 අද වර්ණා වැඩට නොගියේ අද තරමක් වර්ණා ට අසනීප ගතියක් දැනුන නිසා, හෙම්බිරිස්සාව සමග උගුරේ රිදිල්ලෙන් පටන් අරගෙන දවල් උනත් සමග වමනය යාම නිසා හවසට බෙහෙත් ගන්න යන්න තමයි ඉන්නේ. එත් ඉතින් කොච්චර කාර්යබහුල උනත් , අසනීප තිබුනත් හිතේ හැමවෙලේම කැකෑරෙන අමිහිරි වේදනාවන් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ නිසාමයි මම පොස්ටුවක් ලියන්න කියලා ගොඩවුනේ. එත් මේ දුක හිතෙන මගේ අත්දැකීමක් නම් නෙමෙයි, නමුත් පොතක් ගැන. මුණු පොතේ අර ගොඩාක් කමෙන්ට්ස් යන පොස්ට් එකක් තිබුනේ BMICH book fair යන්නේ කව්ද කියලා අහලා, අන්න එකට මමත් ගියානේ. එහෙදි මගේ සිත ගත්ත පොතක් ගැන තමයි මේ කියන්න යන්නේ.


මනෝරි සිලිකා වික්‍රමාරච්චි නමින් මගේ ප්‍රියතම නවකතාකරිනිය වන අතරම ඇගේ බොහෝ පොත් ප්‍රමාණයක් මා විසින් කියවා නිමකර තිබේ. එයිනුත් නේත්‍රා කියන පොත අප පන්තියේ සැම දෙනෙක්ම  අතින් අතට පාස් කරගෙන කියවපු ඇගේ මම ආසමකරන නවකතාවක්. 
ඇගේ පොතක් වන අකම්පා ගැන තමයි මම මේ කියන්න යන්නේ.  ගෙනාපුම දවසේ එක හුස්මට කියවලා දැමු අතරම විසි තිස් පාරක් ඇස් තෙත් වන්නටද ඇති. ඔයාලත් අරගෙන කියවන්න, අකම්පා, ගෑනු ලමයෙකුගේ ජීවිතේ අපායක් කල පිරිමි ගැන කියවෙන කතාවක්. ආදරේ අහිමිව දුක් විදපු පෙම්වතියකගේ කතාවක්. ...


 ඔන්න එහෙනම් මම බෙහෙත් ගන්න ගියා,, ටටා..

Friday, December 2, 2011

මෙහෙමත් ගුරුවරු

මම මේ කියන්න යන්නේ මේ රටේ ඉන්න ටියුෂන් කඩ කාරයෝ ගැන. ආවේගශීලිව ලියන නිසා මන් ගැන වැරදියට හිතන්න එපා. මගේ කටින් නරක වචනයක් එහෙම පිටවුනොත් සමාවෙන්ට ඕනෑ..

මේ මම කියන්න යන්නේ මගේ සහෝදරියෙක්ගේ යාලුවෙක් ගේ  නංගි කෙනෙක්ට වුන දෙයක් ගැන. ඒ නඟා පනම් අතින් තරමක්(ගොඩක්ම නෙමෙයි) දුර්වල වෙච්චි , ඉස්කෝලේ මොන මගුලක් වත් උගන්නන්නේ නැති වෙච්චි, කොළඹ පන්ති යන්ට පටන් ගත්ත ලු. මේ කියන නංගි කරන්නේ ගණිත විෂය ධාරාවන්, මෝඩ ළමයෙකුත් නෙමෙයි ලු. මේ නංගා ඉගෙන ගන්න පාසලේ ගණිත විෂය උගන්නන ගුරුතුමී විෂය උගන්වන්න මැලිකමක් දක්වනවාලු. නිතර පන්තියට එන්නෙත් නැහැලු, මේවා ඔයාල පන්ති වලින් කරගන්න කියල කියනවලු, ඉතින් සමහර පන්ති යන්නේ නැති ළමයි, අනේ මිස් අපි පන්ති යන්නේ නැහැ, ඒ කොටස කියල දෙන්නකෝ කියල කියුවම කියනවලු  ඇයි මට ඒ වගක් වේලපහින් කියුවේ නැත්තේ, දැන් කරන්න බෑ, ඒවා කරොත් අනිත් ඒවා කරන්න කාලේ මදියි කියනවලු. ඒ උනත් කරන මගුලකුත් නැහැලු, ඉතින් ඒ පන්තියේ ඉන්න හැමෝම  පන්ති යන්න පටන් ගත්තලු


ඉංගිරිසි මාධ්‍යයෙන් මේ ළමයි හදාරන නිසා ඒ ගමේ පන්ති නැහැලු ඒ මාධ්‍යයෙන්, ඒ නිසාලු කොළඹ පන්ති යන්න පටන් ගත්තලු, කොළඹ රටේ  මම නම නොකියන ආයතනයක මෙයාලා පන්ති වලට ගියාලු.,, Theory ගාස්තුව 4000 ක් ලු, Revision 2000 ක් ලු, ඒක විෂයකට විතරක්. ඒ ගාස්තුව අය කරන්නෙත් සති 4 කට සැරයක්ලු. ඉතින් මේ නංගිලා සෙට් ඒක මුලින් ගියාලු නොකඩවා. එත් පස්සේ පස්සේ මෙයාල කොටස් දෙකකට සහභාගී උනාලු. කොටසක් Theory  ගියාලු කොටසක් Revision ගියාලු. පස්සේ නෝට්ස් හුවමාරු කරගත්තලු. 


ඒක දවසක් මේ මම මුලින් සදහන් කරපු නංගි ට class fees ගෙනියන්න බැරි උනාලු, අන්තිම සතිය නිසා එයා හිතුවලු ලබන සතියේ ගෙනියනවා කියල, මොකද එදා එයාගේ අම්මට සල්ලි දෙන්න පුළුවන් කමක් තිබුනේ නැහැලු ඒ නංගිගේ, ඒක දවසක් පන්ති නොගියාම ගොඩාක් කොටසක් පාඩු වෙන නිසා මේ නංගි අනිත් යාලුවොත් එක්ක ගියාලු, මේ නංගිලා ඉන්න ගමේ ඉදන් මේ පන්තියට  යන්න පැය 5 ක් යනවලු. 


ඔන්න ඉතින් එදා ඒ නංගි සල්ලි ගෙනාවේ නැති නිසා එයාව පන්තියට ගත්තේ නැහැලු, ඒ නංගි කොච්චර කියුවත් ගත්තේ නැහැලු, දුර ඉදන් එන්නේ කියුවත් ඇහුවේ නැහැලු, ගෙදර යන්න කියුවලු, මේ නංගිගේ යාළුවො එයාලට උගන්නන මිස් ගාවට ගිහින් කියුවලු, අපි දුර ඉදන් එන්නේ, එයාව පන්තිය ගන්න බැහැයි කියුවා, class fees ගෙනත් නැති නිසා, එයාට සල්ලි ප්‍රශ්නයක් නිසයි මිස් ගෙනත් නැත්තේ කියල.


අර හිතක් පපුවක් නැති මිස් , (මට උන් වගේ උන්ට මිස් කියන්නත් ලැජ්ජයි,) ඒ ගැහැණිය කියුවලු අහ්හ් ඉගෙනගන්න නම් සල්ලි වියදම් කරන්න වෙනවා තමයි, සල්ලි නැත්තම් ඉගෙනගන්නේ නැතුව ගමේ වෙන රස්සාවක් කරන්න කියන්න, සල්ලි දීලා එන්න කියන්න නැත්තම් යන්න කියන්න, සල්ලි නැත්තම් උගන්නන්නේ නැහැ මම, දන්නවද මගේ ගේ දැන් තට්ටු 5 ක් කියල කියුවලු. 


අර නංගිලා ටිකට කර කියාගන්න දෙයක් නැතිව ගියාලු, ඉති ඒ නංගි එලියට වෙලා අඩ අඩ ඉන්නවා දැකපු අම්මා කෙනෙක් කියුවලු, ඔයා දුව දැන් ගෙදර යන්න, මන් ගාව සල්ලි ඒ තරම් ගොඩක් නැහැ, මම ඔයාව නැත්තම් පන්තියට යවනවා, ඔය මෙතන කොච්චර ඇඩුවත් මුන්ගේ හිත උණු වෙන්නේ නැහැ. ඒ නිසා දුව ගෙදර යන්න කියුවලු. ඉතින් ඒ නංගි ගෙදර ආවලු. එයාට ඉගෙනිමම එපා වෙලා. දැන් කිසිම පන්තියකට යන්නෙත් නැහැ, ඉස්කෝලේ යන්නෙත් නැහැ, අපි ගොඩාක් එයාගේ හිත හැදුවා. තාමත් හදනවා. ඔයාගේ දුප්පත්කමට ගරහපු එවුන්ට පෙන්න කොහොමහරි ඔය ඉගෙනගෙන්න පෙන්නන්න කියල. අපි ටිකක් සාර්ථකයි, එයා දැන් පාඩම් කරන්න පටන් අරන්, එත් එයා මාසයක් විතර පොතක් අල්ලුවෙවත් නැහැ. 


දුප්පත්කම අතේ අරන් ඉපදුනු අය ඉගෙනගන්න හොද නැද්ද? පෝසත් මිනිස්සුන්ට විතරද මේ රටේ ගුරුවරු උගන්නන්නේ. 


මේ වගේ අයට ගුරුවරු කියලද කියන්න ඕනා?


Tuesday, November 29, 2011

හදමුද කිසස්..!!

කිසස් කාලා කිස් කරන්න හිතෙයිද දන්නේ නැහැ හිකිස්‌. 

මම ඉතින් ගැහැණු ළමයෙක්නේ ,, ගෑනු ළමයෙක්  උනාම උයන්ඩ ඉගෙනගන්නත් එපැය.. ඒ නිසා මම අපේ නැන්දගේ පොත පත අවුස්සලා හොයාගත්තා කෑම පොතක්. එකේ අකුරු මට කියවගන්න අමාරුයි, එච්චරටම හොකර. කොහොමහරි කියෝගත්තා. ඔන්න ඉතින් අහන්න එපා කියෝවගත්තේ කොහොමද කියලා.  එක එක දවස් වලට එක එක ජාති හැදුවා. ඔන්න ඉතින් එක එක දවස වලට එක එක විදියට ආපහු කෑමක් හදන විදිය කියන්න තමයි මම දැන් සුදානම් සරිරෙන් මේ කොටන්නේ.  
ඕනෑම දෙයක් ගෙදර හදලා කද්දී රස වැඩියි කියනවනේ :)) ඔන්න ඉතින් දැන් කඩවල් වල කිසස් කාපු කාලේ ඉවරයි. අපි ගෙදරදීම කිසස් හදලා කිස් එකක් දීලම කමු හිකිස්‌...!!!!

කිසස් .. මේ ගුගල් ඒකෙන් ගත්ත පින්තුරයක් බව සලකන්න, මෙච්චර ලස්සනට නම් ආවේ නැහැ :D
  අවශ්‍ය ද්‍රව්‍ය
-බිත්තර සුදුමද 3 ක්. (කහ මදය පොඩ්ඩක් වත් නැතුව.)
-සීනි ග්‍රෑම් 150 ක්
-වැනිලා ටිකක්
-නොසල් එකක් ඕනා, නැත්තම් හැන්දෙන් උනත් පුළුවන්,
-බටර් ටිකක්
-කේක් තැටියක්


  සාදන ක්‍රමය 


මුලින්ම බිත්තර සුදුමද ටික භාජනයකට දමන්න. ඊට පස්සේ බීටරයක් මගින් හොදට බිත්තර සුදුමද ගහගන්න, සුදු පාට හිම වගේ වෙනකම්ම. පහත රුප බලන්න.
බිත්තර සුදුමද
බීටරයක් මගින් ගැසීම
මේ වගේ පාටට, පෙන නගින්න ගහන්න ඕනා.


හොදට බිට් කරා කියන්නේ භාජනය අනිත් පැත්තට මේ පහල රූපේ තියෙන විදියට හැරෙව්වම හැලෙන්නේ නැති පදම. අන්න ඒ පදමට එනකම්ම බිට් කරගන්න ඕනා. 
ඊට පස්සේ සිනි එකතු කර ගන්න ඕනා. බිට් කරන ගමන්ම සිනි 150g පොඩ්ඩ පොඩ්ඩ එකතු කරන්න. ඊට පස්සේ සිනි ඔක්කොම දිය වෙනකම්ම බිට් කරගන්න ඕනා. 


අවසානයට මේ වගේ මිශ්‍රණයක් ලැබෙනවා ඇති. :))))) ඒක ඒක පාට දාගන්න ඕනනම් දාගන්න පුළුවන් කලරින් මගින් ..........

හරි දැන් වැඩ කටයුතු වල බාගයක් ඉවරයි. 
මීලගට තියෙන්නේ ලස්සනට හැඩය ගන්න එක. කේක් තැටියකට බටර් තවරලා ලෑස්තිකරගන්න. 
නොසල් එකක් ඕනා. මේකට ටිකක් ලොකු නොසල් එකක් තිබ්බනම් හොදයි. ඒ නැතත් කමක් නැහැ. නැන්දගේ පොතේ තියෙන්නේ හැන්දෙන් තැටියේ තැනින් තැන තියන්න කියලා., එතකොට කැතයිනේ. එකයි මම නොසල් එකක් ගත්තේ. කැත උනත් මොකද බඩටනේ යන්නේ .. ඕන විදියක් ඔයාලට ලේසි.


නොසල් එකක් නම් නොසල් එකට නොසල් බෑග් කියල කඩේ තියෙනවා. මම නම් එකක් නෙමෙයි ගත්තේ, ඒ වෙනුවට Lunch Sheet එකක් අරන් මැද පොඩ්ඩක් සිදුරු කරලා නොසල් එක ඒක ඇතුලට යවාගෙන හදාගත්තා.  පොඩි නොසල් වලටනම් නොසල් එකත් එක්කම සිලින්ඩරයක් එනවනේ, එකෙනුත් පුළුවන්. මිශ්‍රණයෙන් ටික ටික දාලා මේ වගේ තැටියේ තැනින් තැන රටා මවන්නයි ඊළගට තියෙන්නේ.



ඔන්න ඔය විදියට තැටියේ රටා මවලා, උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 150 උදුනක (OVEN) ඒක දිගට පැය කාලක්  විතර පුළුස්සන්න. ඊටපස්සේ ටිකෙන් ටික ඇරලා බලලා කරකර තත්ත්වය එනවද කියලා බලලා ඒ තත්ත්වය ආවට පස්සේ උදුනෙන් බාන්න, දැන් වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ අමාරුම හරිය, ඒ කියන්නේ කන හරිය .. හැක හැක හැක ..



ඒක දවසක් ලස්සනට ආවා
තව දවසක් ගෙදරට කට්ටියක් ඇවිත් කර උනා අනේ ,,හිකිස්‌ 
කාල බලලා රසනම් කියන්නකෝ. 

Friday, November 25, 2011

සිතක උපන් කවි 3

කැඩීගිය සිහින මාලිගා... ප්‍රේමයේ මළ දරුවා...
උපද්දවා...
එනමුදු ප්‍රේමය 
මැරුවාද...???
ගොම්මන් මන්දාරම නිවාලන්නට සපැමිණි 
සියොලග හිස සිද දැමුවාද...?
හදවතේ ගිනි නිවාලන්නට හැකි වේද...
ඔහුට මිස.....

කැණී මඩල සිසාරා
කිරි සයුර පීරා..
සොයන්නෙමි අමාරස බිදක්
පන දීමට...
ප්‍රේමයේ මළ දරුවාට ...
මේ මළවුන්ගේ මාසයේ...
කව්රු අසාවිද
මේ මොන්ටිසෝරි හදවතේ
අවනඩුව .....???????? 

Monday, November 21, 2011

සමරු පොතේ පිටුවක්...!!!

වස්සානය ඇවිත් නැවතත් යන හින්දා
මිහිකත අඩනවා වැහි බිදු නැති හින්දා
මම ඔබ උනත් දිනයක වෙන වෙන හින්දා
මිතුදම ඔබට අමතක වේවිද මන්දා...

ඔන්න ඔහොමයි මම මගේ සමරුපොතේ මුල් පිටුව හැඩ කලේ..  ඊයේ මගේ පොත් රාක්කය අස් කරද්දී මට හම්බුනා A/L කරද්දී මගේ යාළුවො ලියපු සමරු පොතක්.. ඉතින් මම එක කියවගෙන ගියා.. සමහර තැන් වලදී බඩ පැලෙන්න හිනා ගියා. එත් සමහර තැන වලදී කම්මුල තෙත් උනා..  ඒ කාලේ හිටපු යාලුවන්ගෙන් සමහර අය දැන් හොයාගන්න නැහැ, ඒ වෙනුවට අලුත් යාළුවො ඇති වෙලා තියෙනවා.. එත් පුංචි කාලේ ඉදල මේ මොහොත වෙනකන් ඉන්න යාලුවොත් ඉන්නවා.. ඒ අයගෙන් මගේ හොදම යාළුවා මධුකා.. 1 වසරේ ඉදන් මේ දක්වාම මගේ ළග ඉන්න මගේ නොසැලෙන ශක්තිය ඇයයි.. මෙන්න මේ වගේ සටහනක් තමයි ඇය මගේ සමරු පොතේ මං ගැන තබලා තිබුනේ.. ඔන්න එහෙනම් මම එක මෙතන ලියනවා. ටිකක් දිගයි.. කියවන්න බෝරින්ග් උනොත් සමාවත් ඉල්ලනවා...

මේ තියෙන්නේ මගේ සමරු පොත

මාගේ ආදරණීය එලාස්

ඔබගේ සැප දුක කෙසේද? මම නම් සුවෙන් සිටිමි.. තාමත් මාර ගහෙ මල් පිපෙනවද?  ඔයා තාමත් මල්ලි එක්ක පොඩි කඩේට එනවද? දැදුරු ඔයාට ගිහින් බට්ටගෙන් වැටෙනවද..
ඔන්න විශ්වාස නැත්තම් බලන්නකෝ.
මෙන්න පටන් ගැන්ම
ඔහේ හිටපිය .. මෝඩ මධුකා මොනවද මේ ලියන විකාර.. පිස්සුව තද වෙලාද අහ්හ්? නැත ලුස් ද බන් ගොනෝ..  අනේ මන්ද එළෝ මොනවා ලියන්නද කියලා හිතේ තියෙනවා පිටු 100 ක ලියන්න දේවල් අපි දෙන්නා hutch වගේ ඔයයි මමයි විතරයි..


 ඔයාව මට මුලින්ම හම්බවුනේ 1 වසරේදී.. ඔයාට මතක නැතුව ඇති අපිව 1 වසරට දාපු මුල් දවසේ අපි දෙන්න හිටියේ එක පන්තියේ,, මම ඔයාගෙන් එදා නම ඇහුවා.. ඔයා කියුවා "ඔයාට වැඩක් නැහැනේ" කියලා... එදා මට තමුසේ බැන්නා.. හිතන ඇති මහා ලොක්කි කියලා... ඊට පස්සේ දවසකුත් මොකක්ද එකකට මට බැන්නා.. ඒ දවස්වල මෙකි හෙන නපුරියෙක්,, ආඩම්බරකාරියෙක්,, කොහොමහරි අපි දෙන්න ඊට ටික කාලෙකින්ම යාලු උනා.. මතකද පොඩි කාලේ අපේ සෙල්ලම.. "රීරි යකා" ඔයා තමයි යකා.. ඔයා පන්තියේ Black board  එකේ හුණු අරන් එනවා අපේ ඇගේ අදින්න.. එතකොට අපි කෑ ගහගෙන දුවනවා.. ඇත්තටම එලාස් පොඩි කාලේ ඉදලම සර්කිට් නේ? අනේ පව්...


කාලය කෙමෙන් කෙමෙන් ගෙවෙද්දී අපි ලොකුයි දැන්.. 10 වසරේදී අපේ පන්ති වෙන් කෙරුවා.. අපි ගොඩාක් දුක් උනා.. අඩන් නෑ  කියලා අපිට හිනා වෙවී හිටපු ඔයා අන්තිමේදී මහා හයියෙන් ඇඩුවා.. අපි ආපහු ඇඩුවා ... අපි දෙන්න පන්ති දෙකක හිටියත් Interval එකේදී කෑම කන්නේ අපි සෙට් එක එකට.. ඉස්සර ඉවොන් මිස් කියුවා ඔයා දක්ෂයි Science  වලට  A එකක් දායි කියලා.  ඒ වෙලාවේ ඇත්තටම මට ලොකු ආඩම්බරයක් දැනුනා. මොකද ඔයා මගේ හොදම යාළුවා නිසා..

මම ඔයාට දෙයක් කියන්නම්  මට මේ ලයිෆ් එකේදී දි හම්බවුනු හොදම යාළුවො 3 න් දෙනයි.. ඒ තුන් දෙනා තමයි ඔයා, සජා ඇන්ඩ් කල්පා. ඔයා හරිම වෙනස් යාලුවෙක්. ඔයා හැම කරදරෙකදිම මාත් එක්ක හිටියා.. මම අඩන වෙලාවට ඔයා ඇවිත්  අනිත් අය වගේ අඩන්න එපා කියල කදුළු පිහුවේ නැති උනාට ඔයා මාත් එක්ක හැම වෙලේම හිටියා.. මං මගේ අනිත් හැම යාලුවෙක් නිසාම අදාල තියෙනවා. But ඔයා නිසා හිනා උනා.. කවමදාවත් අඩුවේ නැහැ.. වෙන් වෙලා හිටපු අපි ආපහු එකතු උනා Science class එකේදී.
ඔයාට මතකද අපි A/L start  කරපු දවසේ ඉදන් claz ගියේ එකට.. .. ඒ දවස වල අපි හොදට වැඩ කළා අනිත් ළමයි අතරින් කැපී පෙනුනා. මතකද අමාරු ගානක් , ඒ ගැන හැදුවොත් මිස් තාපය පොතක් තෑගි දෙනවා කියල, අපි දෙන්න මාර විදියට හැදුවා ඒ ගාන.. එදා තමයි මට උඹ තාපය පාඩම මට හරියටම කියල දුන්නේ. ඒ හම්බුනු පොත උඹ මට දුන්න උඹ ගාව ඒ වගේ පොතක් තියෙනවා කියල. එදා මට ඇත්තටම උඹ ගැන පුදුම හිතුනා මචං.. 



දැන් මම මේ යන්ඩ හදන්නේ ඉස්කෝලේ පැත්තට.. අපි prefects ල වෙලා හිටපු දවස තමයි හොදම දවස් , අපි ඉගෙනීමත් පැත්තකට දාල එන උත්සව වලට බැහැලා වැඩ කරා.. හවස 5-6 වෙනකම් වැඩකරපු දවස අනන්තවත් ඇති නේද.? මතකද මල් වගයක් හොයන්ඩ ඔයයි මමයි සදීෂයි අර පිස්සු සචිනි යි මාරියි . අපි ඉතින් හැමදාමත් බලන්නේ කොහාට හරි පැනගන්නනේ.. ඇයි අපේ mission එක.. එක නම් මාරයි.. පාර මැද්දේ අපි පිස්සු නටපු හැටි මතක වෙද්දීත් හිනා යනවා.කවදා හරි මතක් කරලා හිනා වෙන්න තරම් ළමා කාලයක් අපි ගත කරා.. අපිට ඕන තරම් වැරදි වැඩ කරන්න තිබුනත් අපි හැමදාමත් සිමාවේ හිටියා,, 

මෙන්න මේ වගේ එකකින් තමයි මාව වැටුනේ
මම මෙහෙම ඔයාගේ auto කට්ට serious ලියන්න හිතුවේ නැහැ. එත් මට නොදනිම serious උනා.මගේ එක විශ්වාසයක් තියෙනවා මගේ ජීවිතේ හිනා වෙලා ඉන්න කාලෙට ඔයා මගේ ළග නැති උනත් මම දුක් වෙන වෙලාවට මට උදව් කරන්න පුළුවන් ඔයාට විතරමයි කියලා. ඔයයි අනුයි අපේ dad ගේ බට්ටගෙන් වැටුන එකනම් අමතක වෙන්නෙම නැහැ.. උඹලා කෑගැහුව විදියට මුළු ගමම එතෙන්ට ආපු නැති එක පුදුමයි. දන්නවද එලාස් මම මේ auto කට්ටේ අන්තිම පිටුවල ලියුවට මේ ඔටාස් , එලාස් ගේ heart එකේ සංස්ථානික මහා ධමනිය හරියෙන් තියා ගත්තේ නැත්තම් මම ඔයාලගේ ගෙදර වහලේ උඩට නැගල උපවාසකරනවා.. අම්මට කියපන් උදේටයි දවල්ටයි රෑටයි කන්න දෙන්න කියලා.Bio class යද්දී Friday වෙනකම් බලන් ඉන්නේ ඔයාලගේ මමී ගේ බත් එක කන්න හරිම රසයි,, ඔයාගේ b day party එකේදී තමා මම මේ ලෝකේ රහට කෑම ටිකක් කෑවේ.. ඊට පහුවෙනිදනේ මම accident උනේ..


අද මදුරුවෙක්වත් අහුවෙන්නේ නැහැ auto එකේ අලවන්ඩ..එලාස් මට කියන්න තියෙනවා දෙයක් ඔයාට. දැන් අපි ගොඩාක් ලොකුයිනේ.but ඔයා තාම හැමදේම හිතන්නේ හරිම සැහැල්ලුවෙන්.. ඕනාවට වඩා serious වෙන්නත් එපා. චුටි එකා වගේ හැමදේටම අඩන්නත් එපා. මිනිස්සු ගොඩාක් අය බලන ඉන්නේ අපි අඩනකොට හිනා වෙන්න. අනික ඔයා අඩද්දී මටත් දුකයි.. නේ..එලාස් .. claz යද්දී මම පාරේ තියෙන එක එක දේවල් පෙන්නලා කීවේ ඔයාට මට ඕනා කියලා,,but  මට අපේ පහුගිය අවුරුදු 13 ඕනා.. ඒලාස්  ඕනා..


මතකද ඔයාට අපේ අන්තිම house meet එක. අපි ඔක්කොමල්ලම  lilians ලා. වනන්න කොළ කොඩි නැති උනාම අපි කොළ අතු අරන් වැනුවේ..  ඇයි මගේ අලුත් භාෂාව.. අපි කොච්චර දක්ෂද බුධ්ධිමත්ද අච්චාරුවක්ද.. oh sorry විචාරවත්ද.



 අමතක නොවන අනිත් මතකේ තමයි අපේ සිංහරාජේ සවාරිය.. මමයි ඔයයි නිප්පයි එකටමයි හිටියේ. මතකද නිප්පා ගේ කකුලේ එල්ලුන UNP කුඩල්ලා. නිප්පාගේ විතරයි අමුතු කුඩල්ලො එල්ලෙන්නේ. අපි සාමාන්‍ය අයනේ. නිප්පා ඉතින් ප්ලුටෝ වලින් මෙහෙට පරීක්ෂණ කරන්න නාසා ඒකට එවපු ජීවියෙක්නේ. වැරදිලා මෙහෙට වැටිලා. ඇයි මම දුවිලි ඇල්ලෙන් වැටුණු වෙලේ ඔයා මාව උස්සලා ගත්තේ..
 මතකද ශාලිකායි ශේහාරයි නැති වෙච්ච වෙලේ අපි කොච්චර බය උනාද. ඔයා නම් ඇඩුවත් එක්ක. මට අඩන්නවත් අමතක උනා.. ඒ තරම්ම මම බය උනා.මතකද මම දුවිලි කුමාරි ගේ story එක? එක ඇත්ත අඩේ.. ඉස්කෝලේ වතුර ගහගෙන teachers ලාගෙන් බැනුම් අහපුවා.. මුළු පන්තියම දැනගස්සනවා ,, ලැජ්ජාවේ බෑ science class එකම දනගහගෙන commerce එවුන් කින්ඩි දානකොට බඩ පපුව හෝස් ගාල යනවා..
ලියන්නනම් කොච්චර දේවල් තියෙනවද එලෝ.. එත් පිටු මදි.. දන්නවද මම තමයි ඔයාගේ auto එකේ අඩුවෙන්න්ම ලියන්නේ. තාමත් ලියමින් පවතිනවා. මේක මම ලියද්දි උබ හොදට නිදි.. උබ ඉතින් රෑට පාඩම් කරලා දවල් නිදියගන්නවනේ. අපි ඉතින් හැමවෙලේම නිදියමගන්න අත්තොනේ බන්..  මේවා කියවද්දී boring වෙයි. එත් කියවන්න.. උබේ හැම දේකදිම මං ඉන්නවා කියල පොඩ්ඩක්වත් අමතක කරන්න එපා..ok මම shut down වෙනවා. 
                                                                         මීට 
                                                                         ඔයා දන්නවා මම කව්ද කියලා..

Hum hai rahi pyaar ke,
Phir Milenge chalthe chalthe..

             my name is otaz...
             elaaz ඔහේ හිටු..
             දැන් හිටියා ඇති 
             අපි යන්නට යමු..  
__________________________________________________________________________________


 ප.ළි--ඔන්න ඔහොමයි මගේ හොදම මිතුරිය මගේ සමරු පොතේ සටහන් තැබුවේ..අදටත් අපේ ගෙදර ඇවිත් අපේ අම්මිගෙන් බත් කටක් කන්න එයා අමතක කරන්නේ නැහැ.. යාළුකමට ආදර්ශයක්.. 

ප.ප.ළි-- එලාස් කියල කියුවේ මට ඔන්.. අනුවර්ත හුරුබුහුටි pet නාමයක්.. රුප ටිකකුත් මම අතරින් පතර දැම්මා ඔන්.. කියවල කමෙන්ටුවකුත් දාලම ගියානම් තමයි හොද... 

Friday, November 18, 2011

හලේ අප්පේ හරිම මහන්සියි

හලේ අප්පේ හරිම මහන්සියි.. මොකද මේ මට මහන්සිය කියල බලනවද කට්ටියම.. හිකිස්‌.. ඔන්න එහෙනම් අහගන්නකෝ කතාව.
අපේ ලොකු අම්ම ඒ කියන්නේ අම්මගේ අම්මා. එයාට අපි කියන්නේ ලොකු අම්මා කියලනේ, එතකොට අම්මගේ තාත්තා ලොකු තාත්තා.. මේ දෙපලට මම ගොඩාක් ආදරෙයි  ඔන්.. හුරතලේට හැදුනේ මම මේ දෙන්නා ගාව තමයි මම පොඩි කාලේ.. ඉතින් මම දැන් ලොකු ළමයෙක්නේ. මම ඉතින් යමක් කමක් තේරෙන දැරිවි නිසා ඒ දෙපලගේ හැම දෙකටම මම බොක්කෙන්ම උදව් දෙනවා. ලොකු අම්මි ලොකු තාත්ති වෙනමම ජීවත් වෙන්නේ, පුළුවන් හැම වෙලාවේම ඉතින් මම එහෙ ගිහින් සැප දුක අහලා කුස්සියේ කැම බීම වලටත් වැඩේ දීල තමයි එන්නේ.. ඔන්න ගිය සතියේ දිහාවක මම එහෙ ගියා හවස් යාමේ..
ඔන්න එහෙදි වුනු දෙබසක්....


ලොකු අම්මි- පොඩ්ඩි මම මේ ඔයාට කෝල් කරන්නයි හිටියේ පොඩි වැඩකට..


මම - ඒ මොකක්ද ලොකු අම්මි? 


ලොකු අම්මි- අපේ වැඩිහිටි සංගමේ වාර්ෂික උත්සවේට සින්දුවක් කියන්න ඉන්නවා අපි, ලොකු තාත්ති මම යි තව දෙන්නෙකුයි. ඉතින් එකේ කියනවා සින්දුවක්, එක ඔයා අර හැමවෙලේම තියන ඉන්න කොම්පුටරේ හොයාගන්න බැරි වෙයිද? මුල් ගායනය? 


මම - අහා සිම්පල් ප්ලෑන් එකක්නේ, දෙන්නම්කො හෙටම ගෙනත්. 


ඔන්න ඉතින් මම සින්දුවත් කොලේක ලියාගෙන ඇවිත් ගූගල්  එකේ නම ගහල සෙව්වා. මල හත්තිලව්වයි. no results found ලු :/ 
මේ සින්දුව පරණ කාලේ එකක් ඔන්. එක මුලින්ම කියන්න එපැයි..
මම ඉතින් හැම තැනම ගහල හෙව්වා. හම්බුනේ නැහැ, දවස 2 කකුත් ගත උනා.අනේ මන්දා මගේ පරිගණක දනුමනම් නිල්.. ඒ නිසා මට හොයාගන්න බැරි උනාද දන්නෙත් නැහැ.. මට හම්බුනේම නැහැ, ,අන්තිමට මුණු පොතේ පරිගණක උදව් කියන ගෘප් එකේ දැම්ම අනේ සහෝදර වරුනි මට සොයාදෙන්න කියල සින්දුවේ නමත් එක්කම.. ඔන්න ඉතින් හම්බුනා දෙවෙනි ගායනයක්, එකත් video එකක්. එක mp3 කරලා ගන්නත් සැහෙන වෙලාවක් ගියා මට, හිකිස්‌..  මුල් ගායනය නොවැ ඕනා. ආපහු ඉතින් ගයකයන්වත් හොයාගෙන මුල් ගායනය හොයල දෙන්න කියල දැම්මා. අම්මේ වර්ණා ට හරිම මහන්සි. ඊට පස්සේ අන්තිමට මුණු පොතේ  පරණ ලියනගේ තිලක් දයාසිරි සහෝදරයට සහ ශාන්දව ශ්‍රීනාත් සොහොයුරාටයි පින් සිද්ද වෙන්න මට සින්දුව සොයගනිමට හැකි වුනා. මේ අවස්ථාවේදී ඒ දෙපලට මාගේ හද පිරි ස්තුතිය.. අද හවසට ඉතින් වර්ණා එකත් අරන් උජාරුවට මම හොයාගත්ත වගේ ලොකු අම්මිලාගේ ගෙදර යන්නයි ඉන්නේ... 


බලන්න අපේ පරණ සින්දු දැන් හීන වෙලා ගිහින්, රැප් බයිලාවක නමක් ගැහුවොත් සින්දුව ඒ වෙලේම වගේ හම්බෙනවා.. සංස්කෘතිය අබාවයට ගිහින්. හලේ ඇත්තමයි දැන් තියෙන සින්දුවලට වඩා මේ පැරණි කාලේ සින්දු කොච්චර ලස්සනද... 


ඔයාලත් අහන්න .. ලස්සනයි නේද? සින්දුවේ නම රුවන් අබර. ගායනය ලතා දිසානායක සමග අමිගොස් රෝමන්ටිකස්...

Thursday, November 17, 2011

my life....

Some times when you wait for someone.....

When you wait until he will talk...

When you wait until he text...

When you wait until he share....

It brings a lot of happiness......!!!

But....

When we feel that waiting is just a disturb to that someone...

It hurts like HELL....


That's why I fear to let someone come near me....!!!!!





Wednesday, November 16, 2011

උදව් පතමි....!!

හිතවත් සහෝදරවරුන් වෙත ලියමි..

මම බ්ලොග් එකක් ලියන්න පටන් ගෙන අදට සතියක් වනු ඇත.මාස දෙකක කාලයක් පුරාවට බ්ලොග් කියවමින් සිටි මට, පහන සිතක් හිටි හැටියේ උපත ලබා, බ්ලොග් එකක් අකුරු කරන්නට පුංචි මහන්සියක් ගත්තෙමි.. පරිගණක දැනුම පිලිබදව ඍණ දැනුමක් මා හට ඇත. එනමුත් මා බ්ලොග් එකක් සාදා, එක හැඩවැඩ කරන්නට පුංචි දිරියක් ගත්තෙමි... එත් අනිත් බ්ලොග් හා සැසදු විට මගේ බ්ලොග් පිටුව අහසට පොලව වැනිය.. කොටින්මම මම ද එයට දැන් අකමැතිය, එය අලංකාරවත් නැත, එය දිහා බලාගෙන බල්ලෝ බත් කන්නේවත් නැත, එහි බොහෝ වැරදි තිබේ. ඔබ හට මම මෙවන් වූ ඇඩියාවක් කියන්නේ ඔබ සැමගෙන් මට උදව් කරන්නට ඉදිරිපත් වන පින්වතුන් ඇතොත් මා සම්බන්ද කරගන්න ලෙස දැනුම්දීමටය. අනේ ඔබෙන් මම උපකාරයක්‌ ඉල්ලමි. මගේ බ්ලොග් පිටුව ලස්සන කරදෙනු මැනවි..
තුති..

මෙයට
වර්ණා

Monday, November 14, 2011

සිතක උපන් කවි 2

හුගාක් මිනිසුන් කියාවි... අපි පරාදයි කියලා....
හැම මොහොතකම දැනේවි
අතරමං වී කියා...
එනමුදු සබද
උන් අපේ නොවන බව අපට පෙන්නුවා..
ඒ මැවූ ලෝකෙට.. ඒ රුදුරු ලෝකයට..
හැම වේදනාවක්ම.. හැම තනිකමක්ම..
හැම කදුළු බිදුවක්ම.. ණයගැති බව
හිතට ගන්න...
හැම පාහරයෙක්ම..උන්ගේ ජීවිත වල සතුට..
අනුන්ගේ කදුළු වලින් 
පුරවනවා...
අසන්විදිත ලෝකෙක..
අපි හදපු ජීවිත.. හැම දෙයක්ම කෙටි කරා...
එහෙව් අනාගතයක..
නුබේ සුසුමයි  මගේ සුසුමයි
එක්වෙලා.... පාවෙවී....
එදාට ආත්මයම සුවපත් වෙවී....