Monday, February 27, 2012

බොඳව ගිය දේදුනු - 4 වෙනි කොටස

සමහරු ඉපදෙන්නේ ජිවිත කාලයටම හිනාව දෝතින් තුරුළු කරගෙන කියලා මම අහලා තියෙනවා. හරියට අර රත්තරං හැන්දක් කටේ තියාගෙන ඉපදෙනවා වගේ. එත් කදුලෙන්ම ඉපදිලා මියෙන තුරාම කඳුළු සලන්න සිද්ද වෙච්ච කෙනෙක් වෙන්න ඇති මම. යාන්තන් හරි හිතට සතුටක් සැනසීමක් ලබාගන්න කියලා මම කොහාටහරි අත දිගු කෙරුවොත් අනේ අන්තිමට ඉතිරි වෙන්නේ කඳුල විතරමයි.


"Everything I touch turn to tears "




ආදරේ ජිවිතේ කරගත්තු කෙල්ලෙක්ගෙ කතාව... 
බොඳව ගිය දේදුනු 
අද හතරවෙනි වෙනි කොටස....

බොඳව ගිය දේදුනු- 1 වෙනි කොටස


බොඳව ගිය දේදුනු- 3 වෙනි කොටස

පුස්තකාලෙට යනවිට අතරමගදී සිදුවෙන්නේ මොකක්ද?


අද එතැන් සිට---------------------------------------------------------------------------------------------------------


"මේ කෙල්ල ඉන්නකොට මල වදේ. නැතිවෙනකොට පාලුයි. අපරාදේ මටත් එයා එක්ක ගමේ යන්නයි තිබුනේ. කාලෙකින් ඒ ගස් සුවඳ විදින්නත් බැරි උනානේ.. හ්ම්ම් මොනවා කරන්නද දැන් ඉතින්.. රෙදි ටික හෝදලා දාලා නින්දක් දාලා හවස් වෙලා පුස්තකාලේ පැත්තේ ගියානම් මේ පාලුගතිය නැති වෙයි . "




ආදරය අපේ පිවිතුරුයි අවිහිංසකයි
එක්වීම පිණිබිදු වගෙයි අස්ථිරයි
ඔබ අහස මම පොළොව ලොවට වැඩදායකයි
එනමුත් කිසිදිනෙක එක්නොවේ සහතිකයි



උස් පහත් කුල බේද රජයන කලට
එක්වන්න පින් මදිය පුරුවේ කල පවට
අමුණන්න ආදර මල් හිතවත් මල්දමට
සදු ඉල්ලා හඩන කිරිදරුවන් වෙමු කුමට?



ජිවිතේ සුන්දරයි. සත්‍ය කටුකයි. එත් අකමැත්තෙන් හරි මුහුණ දෙන්න වෙන්නේ ඒ කටුක වූ සත්‍යටම නේද? 
එහෙම හිතලා මම මගේ වැඩ ටික කරගන්න කුස්සිය පැත්තට ගියා.


---------------------------------------------------------------------------------

 මම හීනයක් දැකලා අවදි උනා. එක හුගාක් ලස්සන හීනයක්. මං හිනා උනා හීන ලෝකේ ඉදලාම. එත් හැබෑ ලෝකේ මගේ තනියට මගේ පාලුවට කඳුල සුසුම විතරමයි.කඳුළු පිහදාලා සුසුම් ඈතට පාකරලා මං පුස්තකාලෙට යන්න ලෑස්තිවුනා.




අම්මෝ බස් එකේ පොරකාලා පොරකාලා පුස්තකාලේ ගාවින් බැහැලා පාර මාරුවෙලා කෙලින්ම පුස්තකාලේ ඇතුලට ගියා.
                                                                      මේ පොත් සුවදට මම කවදාත් ගොඩාක් ආදරේ කළා. පොත් මගේ ජිවිතේ. මගේ ජිවිතේ හදාගන්න මේ පොත් මට නොකරපු දෙයක් නැහැ. පොතක් අරන් නහයට ලංකරලා ඒ සුවද මම හොදහැටි විදගත්තා.

"හලෝ කොහොමද. මාව මතකයි නේද "

"ඔව් මතකයි. මෙහෙ මොකද කරන්නේ ඔයා "

"ඔයා මොකද මෙහෙ කරන්නේ? අන්න ඒ දේමයි මාත් කරන්න හේ හේ "
"හිහි මරු  විහිලුව "

එහෙම කියමින් මම නැවත පොත් තුලට දෑස් යැව්වෙමි

"මේ එක නෙමෙයි මෙච්චර දවසක් හම්බවෙලත් මට ඔයාගේ නම අහගන්න බැරි උනානේ. මම විහඟ,   විහඟ දෙනුවන් "

" මම කෞමදී සේනාධීර"

"ලස්සන නමක්නේ"

"නෑ එච්චරම ලස්සන නැහැ  :D"

"එක නෙමෙයි මම ඔයාගෙන් දෙයක් ඉල්ලුවොත්? ඔයා එක මට දෙනවාද? "

"මොනවද? පුළුවන් දෙයක්නම් දෙන්නම් " 

මොනාද මෙයා ඉල්ලන්න හදන්නේ.. ඒ ඇස්? "

"ඔයා එක්ක ටිකක් කතා කරන්න ආසයි. ඔයා හිතන්න එපා මම ඔයාව දවසක් දෙකක් දැකලා දවසක් දෙකක් කතා කරලා එක පාරටම හම්බෙලා ටිකක් කතා කරන්න ආසයි කියනේ මොකද කියලා. මොකද මම ඔයාව දැක්කේ අද ඊයේ නෙමෙයි. කාලයක් තිස්සේ පන්සලේ ඉදන් මම ඔයා දිහා බලාගෙන ඉදලා තියෙනවා "

"එහෙමද? හ්ම්ම් හරි මොනාද කතා කරන්න තියෙන්නේ? අනික මගේ මොනාද බලන්න ඔච්චර තියෙන්නේ. මම සාමාන්‍ය කෙල්ලෙක්. අනික මම දන්නේ නැති අය එක්ක සාමන්යෙන් වැඩියේ ඇදුනුම්කම් තියාගන්නේ නැහැ "

"එහෙම නෙමෙයි මට ඔයාට කියන්න දෙයක් තියෙනවා" අද හවසට පන්සලේදී මාව හම්බවෙනවද? ප්ලීස් "

"බලමු. මට දැන් යන්න තියෙනවා. ගිහින් එන්නම්. හමුවීම සතුටක් "




අම්මෝ මේ මොකක්ද වෙන්න යන්නේ. අනේ දෙවියනි අවූරුදු ගානකින් කෙනෙක් ගැන හිතේ පුංචිම පුංචි පැහැදීමක් ඇති උනා විතරමයි එයා මොකදට මේ එන්න හදන්නේ? මගේ හිත කියවලාවත්ද?

ගෙදර ඇවිල්ලත් මගේ හිත එක්ක මම ගොඩාක් කතා කළා..

අද හැන්දෑවට මම යනවාද නැත්ද? යනවාද නැද්ද?
                                                         හැන්දෑව මගේ හිතට සමීප වෙන්න හදනවා. එත් මට ඕනා හැන්දෑවෙන් අයින් වෙන්න. හැන්දෑව මට හමුනොවන ඉසව්වකට යන්න. මට හැන්දෑවත්  එක්ක තරහා වෙන්න හිතුනා. ඉතින් මම හැන්දෑවත් එක්ක තරහා උනා.ඊට පස්සේ මට පුළුවන් වෙයි හැන්දෑවට පස්සේ එන අන්ධකාරේත් එක්ක යාලුවෙන්න.

"හැන්දෑවට මං ගෙදර එනකොට හැමදාම ඔයා මඟ බලාගෙන ඉන්න ඕන. "
"හා "

"එන්න රෑ උනොත්? "
"එත් මම ඇස් දෙක රිදෙනකල් හරි ආදරේ හිතේ පුරවාගෙන පාර බලාගෙන ඉන්නම්කො."

මතකය අමතක කරන්න යනකොට තව තවත් හිතේ සටහන් වීමට දැරීම ස්භාවයක්. සියල්ල කෙටියෙන් පවසා මසිත සනසාගන්නට මට අවැසි වුනා. ඒ නිසා මම හවස පන්සල් යන්න තීරණය කළා.
                                                 මම පන්සලට යනකොට සුදුම සුදු පාටින් ශර්ට් එකකුයි සුදු පාට සරමකුයි ඇදගෙන ඔහු  බෝධිය නාවමින් උන්නා. ඔහු ඈතට පෙනුනේ කිරි සුදු කොකෙක් වගේ.. මාව දැකලා ඔහු මං ගාවට ආවා.

"කෞමදී අද හරිම ලස්සනයි "

"මට කවී කියන්න. යාළුවො කියන්නේ කවී කියලා මට"

"නැහැ මම ආසයි කෞමදී කියලාම කියන්න "

"ඔයාගේ කැමැත්තක් "

"අපි යමුද ගග ගාවට "

"හොදයි "

මම ඔහු පසුපස වැටුනෙමි. අනේ මන්දා ඇයි කියලා මට හිතා ගන්න බෑ.. මම ඔහුට ඇලුම් කරමි.

ගඟ ළඟ ලස්සන කළුගලක් උඩ ඔහු ඉදගත්තා. මම ඔහුට ටිකක් ඈතින් ඔහු දිහා බලාගෙන නැවතුනා..



"මොනාද මට කියන්න තියෙනවා කියුවේ ?"
"එක නෙමෙයි ඔයා කොහෙද වැඩ කරනවා කියුවේ?

"මම මහජන බැංකුවේ වැඩ කරන්නේ "

"හ්ම්ම් එහෙනම් බෑන්කර් කෙනෙක්.මම ලේඛකයෙක්.. ඒ ගමන් තාත්තාගේ බිස්නසුත් බලාගන්නවා :) "

"එහෙමද. හොදයි.. :) " 

"දෙයක් අහන්නම් ඇත්තම කියනවද? ඔයා කාටහරි ආදරේ කරලා තියෙනවද?"

කාලය බොහෝ විට අහිංසක මසිත තව තවත් වේදනාවටම පත්කරයි.ජීවිතේ හමුවෙන ඕනෑම ගැටලුවකට නොසැලී මුහුණ දෙන්න කොච්චර උත්සහකලත් සසල හිතකට උරුමකියන්නට  වෙච්චි පාපයට ඒ හැමදෙයක්ම ව්‍යර්ථ වී යයි. මගේ මුහුණේ ඉරියව් තේරුම් ගත්ත නිසාදෝ ඔහු ටික වෙලාවක් මට උත්තර දීමට ඉඩහරලා මා දිහා බලාගෙන හිටියා.

"ඇත්තමයි තාමත් මට රහස් නැහැ.ජීවිතේට රහස් තිබුනත් රහසින් ආදරේ කරන්න මට දැනෙන්නේ නැහැ. දුක සතුට මට හැමෝගෙන්ම වසන් කරන්න බැරි උනේ ඒ නිසයි. ඔව් මම ආදරේ කළා. ගොඩාක් ආදරේ කළා. එත් ඒ ආදරේ සදාකාලේටම මගේ ලග තියාගන්න මට බැරි උනා.. මම අසරණ උනා. "

"මම අහන්නේ නැහැ ඒ ඇයි කියලා. මට තේරෙනවා. ඔයාගේ මුනේ ඉරියව් වලින් මම ගොඩාක් දේවල් තේරුම්ගත්තා. ඒ වගේම මෙච්චර කාලයක් ඔයා දිහා බලාගෙන සියුම් අධීක්ෂණයක් කරපු මට ඒ දේවල් තේරුම් ගන්න මහා වෙලාවක් ගියේ නැහැ. "

"මට කියන්න ඇයි මගෙන් මේ දේවල් අහන්නේ? මම ඒ අතීතය මතක් කරන්න කැමති නැහැ "

"මට හිතාගන්න බෑ ඔයා වගේ කෙල්ලෙක් ආදරෙන් පැරදුනා කියුවම. එත් දෙයක් මතක තියාගන්න ඔයා ජීවිතෙන් පැරදිලා නැහැ. "

"මොනාද පැරදිලා නැහැ කියන්නේ . ? ඔයා මොනාද දන්නේ මං ගැන? නෑ ඔයා කිසි දෙයක් දන්නේ නැහැ. මම ආදරෙන් වගේම ජිවිතෙනුත් පැරදිලා ඉවරයි. මේ කාලකන්නි කෙල්ලගේ ජිවිතේ ගැන ඔයා කිසි දෙයක් දන්නේ නැහැ "

මගේ ඇස් දෙකෙන් කඳුළු සට පට ගාලා හැලෙද්දී ඔහු නැගිට මාවෙතට ලංවුනා.

"එහෙම කියන්න එපා \. කවදාවත්. ඔයා පැරදිලා නැහැ. ඔයාගේ අතීතේ ගැන මට දැනගන්න ඕනා නැහැ, එක මට වැඩකුත් නැහැ. මම කැමති ඔයාගේ අනාගතේ ලස්සන කරන්න. ඔව් මම ඔයාට ආදරෙයි. එක මම ඔයාව දැක්ක දවසේමයි මගේ හිතට දැනුනේ."

"දෙයියනේ පවුකාර හිතක නවාතැන් ඉල්ලන්න ඔයා ඇයි මගෙන් අවසර ඉල්ලන්නේ.. මට තේරෙන්නේ නැහැ , මම මොනාද කියන්න ඕනා කියලා "

ඔහු මගේ අත දැඩිව අල්ලා ගත්තා,. මම ඉක්මනින් ඒ අත ඉවතට ගත්තා. 

"මට හිතන්න ඕනා."

"හිතන්න ඕනා තරම් හිතන්න . මම ඉඩදෙනවා. එත් මම ඔයාට ආදරෙයි. එක විතරක් අමතක කරන්න එපා "

"මට යන්න ඕනා. දැන් කළුවරත් වැටෙන්න ලගයි."

"ඉන්න මම ඇරලවන්නම් "

"නෑ මට තනියම යන්න ඕනා.මට හිතන්න ඕනා. ඒ නිසා මම තනියම යන්නම් "
----------------------------------------------------------------------------------------------------------

දෙයියනේ මගේ ජීවිතේට මොනාද මේ වෙන්න යන්නේ? මට ඔහුව විශ්වාස කරන්න පුලුවන්ද? මට මගේ බෝඩිමේ මිතුරිය කියූ දෙයක් මතක් උනා..



"ඉක්මන් තීරණ අරන් පසුතැවිලි වෙන්න එපා. ජිවිතේ කියන්නේ අභියෝග වලට බයේ පැනලා යෑම නෙමෙයි. ඒ අභියෝග බාරගැනීම.. හා හා පුරා කියලා ඔයා අඩිය තිබ්බේ වැරදි පාරක.එත් ජිවිතේ පුරාම වරදිනවා කියලා හිතන්න එපා "

මම ඔහේ හිත හිත පාර පුරා ආවෙමි.  එපමණයි මට මතක. කොහෙන්දෝ ආපු වාහනයක් මාව යට කරගෙන ගොසින්ය. මට සිහියක් නැත. එහෙත් මට මාව පෙනුනි. මම බිම ලේ විලක් මැදවැතිර උන්නෙමි....



මතුසම්බන්දයි



Thursday, February 16, 2012

මෙවන් විපතක් නැවතත් සිදු නොවේවා..!!

මගේ ගම සලාපුරය.. සලාපුරේ තමයි මම ඉපදුනේ හැදුනේ වැඩුනේ, මම පාසල් ගියේ, මගේ දෙමව්පියන්ගේ ගම සහ කවදාහරි මගේ ළමයින්ගේ ගමත් වෙන්නේ. මොකද මගේ ජිවිතේ එක්ක මගේ ගම ගොඩාක් සමීපයි. මේ ගම මට එදා ඉදන්ම පුදුම විදියට ආදරේ කලේ. හරියටම මම මේ ගමටම ඉපදුනු කෙනෙක් වගේ. ඒ මුහුදු රැල්ලට, ඒ ලුණු රස දැනෙන හුළගට, මේ පාරවල්, පල්ලි හැමදේකටම මම පුදුම විදියකට ආදරේ කළා. A/L කරන කාලේ මම අවුරුද්දක් විතර ගමෙන් පිට හිටියා. නිවාඩුවක් ලැබුනාම මම ඉක්මනින් දුවගෙන එන්නේ මේ සලාපුරේ හුලගක් දැනුනත් සැපයි කියලා. කිසිම කලබලයක් නැති මගේ ගම සලාපුරය නැත්තම් හලාවත අද මුළු ලංකාවේම කතාවට ලක්වෙන ගමක් වෙලා. මුහුදු මට්ටමේ ඉදන් අඩි 6 ක් පහලින් මගේ ගම පිහිටලා තිබුනත් සුනාමියටවත් මගේ ගමට , ගමේ මිනිස්සුන්ට කිසිම දෙයක් කරන්න බැරි වුනේ මගේ ගම එදා ඉදලාම ආරක්ෂා කරපු දේවමෑණියෝ එදාත් අපේ ගම අපිට ආරකෂා කරපු නිසා. කිසිම උවදුරකටවත් ලක්වෙලා නැති මගේ ගම අද මළගෙයක් වගේ හෙනට නිශ්ශබ්දයි. සතුටින් කෑ ගහලා යන කුරුල්ලෝ අද පේන්නවත් නැහැ. අද හැමෝම දුක් වෙන දවසක්. මුළු නගරෙම කළුකොඩි දාලා.. මිනිස්සු හැමෝම කතා කරන්නේ එකම මාතෘකාවයි.. ඒ ඉන්දන මිල පහල දාන්න කියලා පාගමනක් ගිය මිනිස්සුන්ට අසික්කිත විදියට වෙඩි තියලා එක් මිනිසෙක්ව මරණයට පත් කරපු හමුදාව හෙලාදැකිම.
එදා වේල හොයාගන්න මහා මුහුදට පින් දෙන මිනිස්සුන්ට මේ කරපු අපරාදය මුළු රටම හෙළාදකිනවා. මම ඒ මිනිස්සුන්ගේ දුක දැකලා තියෙනවා. මම ජිවත් වෙන්නේ හලාවත නගරය මැද. ඒ මිනිස්සු ජිවත් වෙන්නේ මුහුද ලග. කොච්චර බියකින්ද ඒ මිනිස්සු ජිවත් වෙන්නේ කොයි මොහොතේ දිය රල පෙළ තමන්ව ඩහගනිද කියලා. එත් මිය ගිය අපේ සහෝදරයා ජීවිතේට හිතන්නෙවත්  නැතුව ඇති එයාගේ ජිවිතේ මේ විදියට ඉවරවෙයි කියලා. 
සිද්දිය වෙන වෙලාවේ මම හිටියේ ඔෆිසියේ. සිද්දිය වෙන තැනට දුරයි. එත් එතන හිටපු අයගෙන් මම ගොඩාක් දේවල් දැනගත්තා. මිනිස්සු කිසිම කලබලයක් කරන්න නෙමෙයි ඇවිත් තියෙන්නේ. සාමකාමී පාගමනක් පල්ලියේ පියතුමාත් එක්කයි ඇවිත් තියෙන්නේ. ඒ මිනිස්සුන්ට මේ විදියට අත් බෝම්බ වලිනුයි උන්ඩ වලිනුයි උත්තර දෙන එක කොච්චර අසාධාරණද.? ඒ වගේම ඒ සහෝදරයාව රෝහලටවත් අරන් යන්න ඉඩ නොදී පාගලා දාලා... 
මේ රටේ තියෙන්නේ තනිකර ඒකමතික පාලනයක්.  මේ හමුදාව තනිකර රබර් වලින් හදපු හමුදාවක්. කිසිම හැගීමක් දන්නේ නැති මිනිස්සු. මිනිහෙක්ගේ ජිවිතයක් කියන්නේ කොච්චර වටිනා වස්තුවක්ද.. අම්මා කෙනෙක් දරුවෙක්ට ජිවිතයක් දෙන්න කොච්චර දුක් විදිනවාද. ඒ ජීවිතය මේ සාහසික මිනිස්සු තප්පර ගානකින් විනාශ කරලා දාන්න තරම් කුරිරු වුනේ කොහොමද.. මේ සිද්දිය මගේ ගමේ මේ වුනු අපරාදේ මුළු ගමටම කාලාන්තරයක් යනකන් මතක හිටීවි... 






\




මුළු ගමම එකතු වුනා

බිෂොප් මිනිස්සුන්ට කතා කළා




පල්ලියේද





මිනිහෙක් ගේ නැති වුනු ජීවිතේට වටිනාකමක් එක් කරන්න මුළු ගමේම කළු කොඩි එසවුනේ මෙහෙමයි.

මමත් කළු කොඩියක් එල්ලුවා




ඒ වගේමයි හලාවත් මාළු මාකට් එකේ කිසිවෙක් අද 5 වෙනි දිනේටත් මාළු වෙළදාම නතර කළා...






මහාරාජා මෙහෙමයි හිටියේ හලාවත.



මේ තාත්තා කෙනෙක්. තාත්තා කෙනෙක්ගේ ජිවිතයක් නැති වුනු දුක මම වෙන කාටවත් වඩා හොදටම දන්නවා. මේ දරුවන්ටත් ඒ දුක හිමිවුණා.. ආපහු මෙවන් විපතක් හතුරෙක්ටවත් සිද්දවෙන්න එපා කියලා මුලු ගමම ප්‍රාර්ථනා කරනවා...



ප.ලි.-පින්තුර ලබා දුන්නේ ජයසංක අයියා.. සමහර ඒවා මුණු පොතෙන්, සමහර ඒවා මම ගත්තු ඒවා...



Saturday, February 11, 2012

බොඳව ගිය දේදුනු- 3 වෙනි කොටස


                                                             ජිවිතේ කියන්නේ හෙමින් හෙමින් විසදගෙන යන්න ඕනා ප්‍රශ්නපත්‍රයක්..  හදිස්සි උනොත් මුළු ජීවිතේම කාලකන්නි වෙන්න පුළුවන්.. එක පාරක් කෙනෙක් වෙනුවෙන් ජීවිතේම කැපකරලා වේදනාවිදපු  කවී, ගොඩාක් ප්‍රවේසමෙන් තමයි එතනින් එහාට එයාගේ ජිවිතේ සැලසුම් කලේ.. මොකද එයාගේ හිත ගොඩාක් වෙලාවට එයා හිතන්නෙවත් නැති දේවල් එයාට කරන්න කියන නිසා.


"කෞමදී අලුතින් ගත්ත ට්‍රෛනී ට වැඩ කියලා දෙන්නේ.. මිනිහා CBF ඉගෙන ගන්නවලු "


"හොදයි මිස්ටර් සිල්වා "


හුරු පුරුදු මුහුණක් එකවර දොරකඩින් මතුවිය. දෙයියනේ සවින් ???


අද එතැන් සිට.....
-------------------------------------------------------------------------------------------------------------------------


"සවින් ඔයා මෙහෙ? "


"කවි පුදුම වෙන්න එපා. කොහොමත් අද මම ඔයාව හම්බෙන්න හිටියේ.."


"ඒ මොකද..? මේ කාර්යාල වෙලාව. ඔයාව ට්‍රෛන්  කරන්න මටයි බාරදුන්නේ.. ඕනෑම ප්‍රශ්නයක් ලන්ච් එකේදී අහන්න."


"අම්මෝ මෙයාගේ ගණන්. හරි හරි මම ඒ වෙලාවටම අහන්නම්කො."


මේ මොනාද දෙවියනේ මට උනේ. අන්තිමට මෙයා මෙහෙටම අවානේ.




"මිස්ටර් සවින් මේ ඉන්නේ අසිත තෙන්නකෝන්."


මම එහා පැත්තේ මෙසේ හිටපු අසියාව සවින්ට හදුන්වලා දුන්නා. 


"මචන් මිස්ටර් කෑලි ඕනා නැහැ.. අද ඉදන් උබත් මේ අපි වගේ තමයි. වැඩ අමාරු නැහැ. අපිත් මේකට එද්දී මෙලෝ හසරක් දන්නෑ. මේකෙම පොල් ගාලා තමා ඉගෙනගත්තේ.."


අසිත කියුවේ සවින්ව ධෛර්යමත් කරන්න වගේ.


"අසිත හුගාක් කල් ද බැංකුවේ..? "


"ෆෝ ඉයර්ස්.. මේ යන්නේ පහ. අනික ඉතින් දන්නා කියන යාලුවෙකුත් ඉන්නවානේ ඔයාට."


අසිත කියුවේ තේ උගුරක්‌ බොන ගමන් මටත් ඇසක් ඉගි කරනගමන්... මම ඒ වෙලේම සවින් ගේ මුණ බැලුවා. අම්මේ මුනේ තියෙන හිනාව. අම්මපා මේ අසියටත්  කටක් තියාගෙන ඉන්න බැහැනේ.
පැයක් ඇතුලත කොහොමහරි ස්ටාෆ් එකේ කිහිප දෙකෙනුම සවින් අදුනගත්තා.




"මේ කමුද මැඩම්.. බඩගින්නක් එනවා. මචෝ උබටවත් බඩගිනි නැද්ද.. "


අසියා කියුවේ පුටුවෙන් ටිකක් ඉස්සිලා සවින් දිහාත් බලන ගමන්.. එහෙම්මම නැගිටලා එයාගේ කෑම එකත් අරන්  කෑමට යන්න ලෑස්ති වෙද්දී මමත් නැගිටලා කෑම එක අරගෙන සවින් ලගට ගියා..


"යමු සවින් කෑම කන්න."


කෑම මේසෙට අසිත මම සවින් විතරක් නෙමෙයි නිමේෂා ත් එකතු උනා. කෑම කාලා ඉවර වෙලා සවින් ඇවිත් කතාවට ලෑස්ති උනා මාත් එක්ක.


"අහ්හ් දැන් කියන්න බලන්න මොනාද කියන්න තියෙන්නේ කියලා."


"ඇයි දන්නෙම නැද්ද.. "


"දැනගන්න කියන්න එපැයි..."


"කවි බොරුවට නෙමෙයි මේ මන් කතා කරන්නේ සීරියස්.. නෙතුකි අතේ මම පණිවිඩයක් එව්වා. අනික මම දන්නවා එක ඔයාට නෙතුකි කියුවා කියලා. මට ඕනා උත්තරයක්‌.."" :"''


"උත්තරයක්‌ දෙන්න තරම් එක මට ප්‍රශ්නයක් නෙමෙයි සවින්. අනික මට ඔයාව හොද යාලුවෙක්. ඒ යාළුකම නැති කරගන්න එපා. අපේ යාළුකම මෙතනින් එහාට ගෙනියනවට මම කැමති නැහැ..."


"ඒ මොකද කියලා මට හේතුවක් කියන්න කවි.. මගේ තියෙන වැරැද්ද මොනාද... "


"වැරද්දක් නෙමෙයි මෙතන ප්‍රශ්නේ. ඔය මං ගැන මොනාද දන්නේ.. බෝඩිමක් ඇතුලේ හිරවෙලා ජිවිතේ හොයන කෙල්ලෙක් මම. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. ආපහු මට ජිවිතේ වරද්ද ගන්න ඕනා නැහැ. අනික ඔය හොද කෙනෙක්. ඕනෑම උදව්වක් මම ඔයාට කරනවා.මේ වගේ දේවල් අහලා අපි අතරේ දුරස් බවක් ඇතිකරන්න එපා"


"හැම කොල්ලම එක වගේ නැහැ කවි. එක තේරුම් ගන්න. හරි මම කරදර කරන්නේ නැහැ ඔයාට. ඔයාම දවසක තේරුම් ගන්නකන් මම බලාගෙන ඉන්නවා. "
.
.
.
.
. අනේ දෙවියනේ මම මොනාද කරන්නේ. එන දෙකට මුහුණ දෙනවා. 


වැඩ ඉවරවෙලා බැංකුවෙන් එලියට බැහැලා ආවෙත් හිත සැහැල්ලුවෙන් නෙමෙයි. පාරට ඇවිත් බස් නැවතුමේ හිටගෙන බස් එකක් එනතුරුත් වටපිට බැලුවෙත් හිත සැහැල්ලුවෙන් නෙමෙයි. වේලපහින් බැංකුවෙන් එලියට ආපු නිසා සවින්ට මාව මගහැරුනා.


කොහේදෝ ඉදන් ආපු පුංචි සුළං රැල්ලක් කොන්ඩේ ටිකක් අවුල් කරද්දී මම ඉක්මනින් හිස හරහා අත යවලා ඒ විසිරුණු කෙස් එක්තැන් කරගත්තා..
බස් එකක් එකපාරම ආවා ඒ වෙලාවේම.  බස් එකට නගින්න හදද්දී බස් නැවතුමේ කවුදෝ පිරිමියෙක් හැරි හැරී බලනවා මම යාන්තමට වගේ දැක්කා. මම ඉක්මනින් බස් එකට ගොඩවුනා. බස් එකේ සෙනග වැඩියේ නැති නිසා මට ඉදගන්න හම්බුනා..
බෝඩිමට ඇවිල්ලත් මට කල්පනා උනෙම මම සවින්ට දීපු උත්තරේ ගැන. මගේ අතින් මම හරි.
එයාගේ පැත්තෙන් ? නැහැ මට ඒ දේවල් කල්පනා කරන්න ඕනා නැහැ. එන දෙකට මුහුණ දෙනවා.


බෝඩිමේ මිතුරිය සමග රැට කන්න මොනාහරි ගන්න කියලා හවස පාරට ආපු වෙලාවේ අපි ලගින් වහනයක් ඇවිත් නතර කළා. 


වහනයෙන් බැහැලා අපි දිහාවට ආවේ හුරු පුරුදු රුවක්.


"මාව මතකද  මන්දා "


"අහ්හ් මතකයි මතකයි එදා පන්සලේදී හම්බවුනේ.. "


"මේ යාලුවෙක් වෙන්න ඇති.."


"ඔව් මේ මගේ රුම් මේට් "


"හෑ ඔයා කැම්පස් ද ? "


"නෑ මම කැම්පස් නෙමෙයි. මම වැඩට යන්න නතර වෙලා ඉන්නවා බෝඩිමක."


කාත් කවුරුවත් මට නැහැයි කියන්න මට ඒ වෙලේ මගේ දිව නැමුණේ නැහැ. අනික මම මොකටද දන්නේ නැති කෙනෙක්ට මගේ විස්තර කියන්නේ. 


"මම මේ ලගකට යන ගමන්. ඔයාලා කොහෙද යන්නේ.. මට පුළුවන් ගිහින් ඇරලවන්න.."


"අනේ එපා අපි මේ ලගකට යන්නේ.. "
ඒ වෙලේනම් උත්තර දුන්නේ මගේ යාලුවා.


"ඔව් තැන්ක්ස්. අපි එහෙනම් ගිහින් එන්නම්.. "


"හ්ම්ම් හොදයි එහෙනම් ආපහු දවසක හම්බෙමුකෝ. පන්සල පැත්තේ එවෙන්නේ නැත්ද ලගදි දවසක..?"


"කියන්න බැහැ. නිවාඩු තියෙන විදියට තමයි.."


ඔහු යන්නට ගියේය.
"කවුද බන් ඒ ? " කොහේ පොරක්ද " ? 


මිතුරියගෙන් ප්‍රශ්න වැලකි.


"කටවහගෙන වරෙන්. පස්සේ කියන්නම්."


බෝඩිමට ආවට පස්සෙත් මට මතක් උනේ ඔහුවමයි.


"කියපන්කො කවුද ඒ? අපිත් ආසයි දැනගන්න."


"අනේ මේ උබ මොකට දැනගන්නද ? තාරක ඉන්නේ උබට "


විනොදෙටනේ ළමයෝ... මේ කාලේ තමයි අපේ ජිවිතේ හොදම කාලේ. හොදම වයස..


"එන්ජෝයි කරන්නේ දකින දකින කොල්ලට ලයින් දාලද? එක ලොකු වැරදීමක් කෙල්ලේ.එක එන්ජෝයි කරන විදියක් නෙමෙයි. එක හිතේ තියෙන සතුට කාලා දාන විදියක්."


"හරි හරි කියපන්කො කවුද ඒ පොර කියලා."


"අර උබලා එක්ක මම එදා පන්සල් ගියා මතකද.. අන්න එදා පන්සලේදී හම්බුනේ.. වචනයක් දෙකක් කතා කළා විතරයි. එත මිනිහාට මාව මතක හිටලානේ. "


" ඇයි ඉතින් උබටත් මතකයිනේ. ඇයි කියුවේ ඔව් ඔව් මතකයි කියලා හේ හේ "


"හරි හරි.. ඒ කතා වැඩක් නැහැ. හෙට සෙනසුරාදා.. උබ ගෙදර යනවද "


"ඔව් බන් යන්න ඕනා."


"උබ ගියාම මට තමයි පාලු "


"උබත් වරෙන්කො එහෙනම් "


"බෑ බන්. රෙදි කන්දක් තියෙනවා හෝදන්න.ඔයා යන්නකෝ. අනික තාරකත් ඉන්නවානේ.මම එන එක හරි නැහැ. "
\




ඇය ගමේ ගියාය. හ්ම්ම් පාලුයි තමයි. දැන් මේ පාළුව මට වැඩියේ දැනෙන එකක් නැහැ. මොකද මම එකට දැන් හුරු වෙලා.


සති අන්තේ පුස්තකාලෙට යෑමට කවිට සිතුනේ ඒ පාලු බවෙන් මිදෙන්න. 


කවිට පුස්තකාලෙට යනවිට අතරමගදී සිදුවන්නේ කුමක්ද ?




මතුසම්බන්දයි.



Monday, January 30, 2012

කමුද මාළුපාන්?

හ්ම්ම් කොහොමද ? ටික කාලෙකට පස්සේ.. 
අද මම කියන්න යන්නේ මම හදපු කෑමක් හදාගන්න විදිය ඔයාලට කියන්න.. ඔව් අපි හැමෝම ආසයිනේ මාළුපාන් කන්න. එත් කඩවල් වල තියෙන්නේ අමු ජරාව.. කඩේකින් මාළුපාන් එකක් කෑවොත් සතියක් ටොයිලට් එකේ පදිංචි වෙන්න පුළුවන්.. එත් සක්‍යා එකේ මාළුපාන් නම් සිරාවටම රසයි.. 
හරි කතා ඇති. දැන් හදමු.


අවශ්‍ය ද්‍රව්‍ය


පිටි මිශ්‍රණයට 


පිටි 500g (මාළු පාන් 10 ක් විතර හදන්න පුළුවන්, පොඩියට හැදුවොත් 12 ක් විතර පුළුවනි)
යීස්ට් තේ හැදි 5 ක්
සිනි තේ හැදි 3 ක්
ලුණු කුඩු ටිකක්
වතුර


ඇතුළු පිරවුමට
මාළු , ඔයාල මාළු කනවනේ, එහෙනම් මාළු දාන්න, මම මාළු කන්නේ නැහැ එත් සැමන් කනවා, ඒ නිසා මම සැමන් ටින් එකක් ගත්තා
හීනියට ලියාගත් කැරට් 
හීනියට ලියාගත් ගෝවා 
කපාගත් ලොකු ලුණු
පොඩියට කපාගත් අල
සුදුලුනු , කරපිංචා, අමුමිරිස්‌, රම්පා
මිරිස් කුඩු, කහකුඩු, කුරුදු කුඩු
සොයා සෝස්


හරි දැන් බලමු සාදන ආකාරය.

මුලින් පිටි ටික භාජනයකට දමන්න. එයට සිනි, ලුණු දමා කලවම් කරන්න. උතුරන වතුර අඩු කෝප්පයකට යීස්ට් ටික දමා දිය කරගන්න. එම දියරය පිටි මිශ්‍රණයට දමන්න. ඉන්පසු එයට වතුර ටික ටික දමා පහත ආකාරයට අතේ ඇලෙන්නේ නැති පදමට පිටිමිශ්‍රනය හදාගන්න.


ඊට පස්සේ පිටි මිශ්‍රණය තවත් ගොඩාක් පාරක් අනාගන්න ඕනා. මාළුපාන් එක හොදට පිපිලා එන්නේ මේ ඇනීම මත.හොදට අනාගත්තාට පස්සේ පිටි මිශ්‍රණය සහිත භාජනය ප්ලාස්ටික් පිගානකින් වහලා පැයක් පමණ පැත්තකින් තියන්න ඕනා. යීස්ට් වල ක්‍රියාකාරිත්වය නිසා පිටි මිශ්‍රණය පිපෙනවා. 



දැන් අපි මිශ්‍රණය හදාගමු.
කැරට් සහ ගෝවා
රම්පා, කරපිංචා, අමුමිරිස්, සුදුලුනු

පොඩියට කපාගත්තු අල


මුලින්ම භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා , තෙල් රත් උනාම එකට කපාගත් ලුණු දමා  ටිකක් බැදෙන්න අරින්න.

ඊට පස්සේ එයට මුලින් පෙන්නලා තිබුණු රම්පා, කරපිංචා, සුදු ලුණු , අමු මිරිස් දාලා හොදට බැදගන්න.. ඊට පස්සේ එකට කැරට් ටික ගෝවා ටික සහ අල ටික දමා හොදින් උයා ගන්න.


දැන් සැමන් ටික සාමාන්‍යයෙන් කෑලි තියෙන විදියට කඩාගෙන, එකට ලුණු, ගම්මිරිස්, මිරිස්, කහ කුඩු සහ සොයාසොස් දමාගෙන පැත්තකින් තියාගන්න සීසන් වෙන්න.
දැන් ලිපේ තියෙන මිශ්‍රණය උයාගත්තාට පස්සේ එයට සැමන් ටික දමන්න. තව සොයාසොස් ටිකකුත් දමන්න.


මෙම මිශ්‍රණය හොදට උයාගන්න ඕනා. නැත්තම් ගෝවා, කැරට්, අල අමුවෙන් තමයි කන්න වෙන්නේ :))

හරි මේ මිශ්‍රණය ලිපෙන් බාලා නිවෙන්නට හරින්න ඕනා.


දැන් පිටි මිශ්‍රණය අරගෙන බෝලා වලට වෙන් කරන්න. ලොකුවටනම් 10 ක්, නැත්තම් 12 ක් විතර.


ඊටපස්සේ මේ එක පිටි බෝලයක් අරගෙන තුනී කරගන්න. ගොඩාක් හීනියට නෙමෙඉ. සාමාන්‍ය ගනකම තියෙන විදියට.. මෙන්න මේ වගේ.


ඊට පස්සේ පහත රූපරාමු පෙළ පරිදි මිශ්‍රණය මැදින් තබා තුන් මුලසට නමාගන්න.











මෙන්න මේ විදියට හදාගත්ත මේ මාළුපාන් ටික තව පැය බාගයක් පමණ පැත්තකින් තබන්න. මෙවිට මේ මාළුපාන් ටික ආපහු පිපෙනවා. ඊටපස්සේ බිත්තර සාරු මේ මාළුපාන් වල උද පැත්තේ තවරන්න ඕනා. බේක් උනාට පස්සේ එතකොට උඩ කොටස දිලිසෙනවා මේ බිත්තර සාරු නිසා..ඊටපස්සේ සෙන්ටිග්‍රේඩ් අංශක 190 මිනිත්තු 20 ක් පමණ බේක් කරගන්න.
මිනිත්තු 20 ක් හෝ ඊට වැඩි. 


ඔන්න මාළුපාන් හදලා ඉවරයි.. හෑහහ් කෝ බොලේ අවසන් ප්‍රතිපලේ?
අනේ සමාවෙන්ට ඕනා තියෙන හදිස්සියට පින්තුර ගන්න බැරි උනා. පින්තුර ගන්න කලින් කාලා ඉවර උනානේ :(((


හදලා බලලා රසද කියන්න හොදේ :)))



Wednesday, January 25, 2012

මචන් උඹ ගොඩාක් ලකී



මේ ජිවිතේ හරියට කියවලා ඉවරකරගන්න බැරි පොතක් වගේ..අපි කොච්චර කියෙව්වත් කියවලා තියෙන්නේ එකම තැන.. කොච්චර හෙව්වත් අලුත් පිටුවක්. නැහැ හම්බෙන්නේ.. එත් කලාතුරකින් පොත ගොඩාක් සාර්ථකව කියවලා ඉවරකරගත්ත අයත් ඉන්නවා. එයාලට කියන්නේ, මචන් උඹ ගොඩාක් ලකී... කියලා.
එත් "මං වගේ කාලකන්නියෙක්" කියලා හිතන අය මේ මිනිස්සු අතරේ කොච්චර ඉන්නවාද....


මං අවුරුදු 21 ක් ඇතුලත ජිවිතේ ගැන ලබාපු අත්දැකීම් සහා ඉගෙන ගත්තු දේවල් බොහොමයි..මිනිස්සු ගැන ගොඩාක් දේවල් ගොඩාක් හොදට ඉගෙන ගත්තා. මගේ ලග ඉදපු අය මට හතුරුකම් කරපු විදියත් නොහිතපු අය මට ලං වෙච්ච විදියත් මට දැනටත් අඩත්තේට්ටම් කරන අයත් මට හම්බුනා.මේ හැමකෙනෙක්ටම මුහුණ දෙන්න මට ශක්තිය හැමවෙලේම තිබුනේ නැහැ.. ඒ ගොඩාක් දේවල් වලදී මම වැටුනා. මගේ පවුලේ අය නිසාම මම අනන්තවත් අඩලා ඇති. කොටින්ම කියුවොත් අලුත් අවුරුද්ද දවසෙත් මහා හයියෙන් අඩපු කෙල්ලෙක් මම. එත් මගේ නැති වෙච්ච තාත්තාගේ පිහිටෙන් මම නැගිටින්න හැමවෙලේම උත්සහා කලා.. වැලේ වැල් නැතුව පාරක් පාරක් ගානේ ඔහේ ඇවිද ගිය මට, ජිවිතේ කාලකන්නි කරගන්න යන හැමවෙලේම මගේ ලග ඉදන් මාව හරි මාර්ගෙට යවපු මිතුරොත් නැතුවා නෙමෙයි.එත් ඒ හැම කෙනෙක්ගෙන්ම ඈත් උනේ මම නිසා කාටවත් කරදරයක් වෙනවාට මම අකමැති නිසා..
පුංචිම පුංචි කාලේ තාත්ති මම තට්ටු 10 ක ගෙයක් හදලා ලොකු කාර් එකක් ගන්නවා එක ඔයාට දෙන්නද කියලා අහද්දී, නෑ පුතේ ඒ ඔයාගේ කාර් එකනේ එකේ මම ඩ්‍රයිවර් වෙන්නම්කො ඒ තට්ටු 10 ගෙදර යටම තට්ටුව මට දෙන්නකෝ.. මට තට්ටු නගින්න බැහැනේ කකුල රිදෙයිනේ කියලා තාත්ති කියුවා මට අද වාගේ මතකයි.. . ඒ දුව මෙහෙම ජිවිතේ විනාස කරගන්නවාට තාත්ති අකමැති බව මම දන්නවා තාත්තේ.. එත් ඔයා නිසා ඔයාගේ ආදරේ වැඩි කම නිසා පොඩ්ඩ ඇත්තම් මේ කෙල්ලට දුක හිතෙන හිතක් මැවුනා.. ඒ හිත මේ කෙල්ල කියන දෙයක් අහන්නේ නැහැ. අම්මිට මගේ හිත කියවන්න බැරි නිසාමද මන්දා මගේ ජිවිතේ නිකම් නාස්ති වෙයි කියලා මට බයයි... මේ වනතෙක් හිත හයිය කරගෙන ලෝකෙට පෙන්න හිනා වෙවී හිත ඇතුලින් අඩ අඩ හිටපු මට  ජිවිතේ ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ.


අහම්බෙන් දැක්ක බ්ලොග් පොස්ට් එකක් නිසා බ්ලොග් එකක් ලියන්න හිතුනත් හිතුවක්කාරී කියන හිතුවක්කාර නැති කෙල්ල මාව දිරි ගන්වපු නිසාත් ඔයාලා අද කියවන මේ බ්ලොගය මා අතින් නිර්මාණය උනා.
කියාගන්න බැරිව හිර වෙලා තිබුණු හැගීම් ගොඩාක් එලියට පනින්න වෙර දරද්දී අමාරුවෙන් හංගගෙන ඉදලා ඒවා එහෙම් පිටින්ම බ්ලොග් පොස්ට් එකක් තුල හිර කරන්න අසාර්ථක උත්සාහයක යෙදුනු මම, බ්ලොග් ලෝකෙට ටික කාලෙක විරාමයක් තියන්නයි සුදානම් වෙන්නේ.. මම දන්නවා සමහරු ඇවිත් මට බනි.. සමහරු හිතින් හොදයි කියයි.. මොනා කියුවත් මම හිතුවා ටික කාලෙකට බ්ලොග් එකේ කිසිවක් නොකොටන්න.. ඒ වගේම මුණු පොතෙවත් නොරැදෙන්න..
බ්ලොග් නිසා ගොඩාක් හිත රිදුනා. ඒ වගේමයි ඒ දේවල් නිකම්ම හිතින් අයින් උනා.. සමහර බ්ලොග් කාරිනියන් මාත් එක්ක තරහා වෙලාදෝ කියලා වෙලාවකට මට හිතෙනවා.. ඒ අයට මගෙන් වරදක් උනානම් සමාවෙන්න කියලාත් කියනවා.. බ්ලොග් ලෝකෙන් මට හිතා ගන්න බැරි විදියට යාළුවො ගොඩාක් හම්බුනා...මම ටික කාලෙකට එන්නේ නැහැයි කියද්දී මගේ නම්බර් එක ඉල්ලගත්තු බ්ලොග්කාරිනියක්  පවා හිටියා. ඒ වෙලාවේ මට දැනුනේ මම ඇත්තටම එයාගේ හොද යාලුවෙක් වෙලා නේද කියලයි..


බ්ලොග් වලින් සමුගන්නේ ටික කාලෙකට.. හිත ටිකක් හැදුනාම ආපහු එනවා.. ඒ වෙනකොට මාව අමතක වෙලා ඉදිද දන්නේ ත් නැහැ ඕන්.. හේ හේ...


අන්තිමට කියන්නේ බ්ලොග් නිසා දැන් ගොඩාක් අය ගහාගනන්වා... අනේ මන්දන්නේ නැහැ මොකට මෙහෙම රණ්ඩු වෙනවද කියලා. ඒ ගැන නම් නො කමෙන්ට්ස්.. 
අහ්හ් තව දුකක් තියෙනවා මම ලියාගෙන ආපහු කතාව ටික කාලෙකට දමන්න බැරි වෙයි.. එකට සමාවෙන්න.. 


මං වගේ ජීවිතේට තේරුමක් නැතිව ජිවිතේ ගෙනියන්න එපා. මම සමුගන්නේ පෞද්ගලික හේතුවකට හිත රිදදුනු නිසා ටික කාලෙකට.. 
අන්තිමට කියන්න තියෙන්නේ මාව අමතක කරන්න එපා කියලා තමයි :))))







Tuesday, January 24, 2012

බොඳව ගිය දේදුනු- 2 වෙනි කොටස

  "මොකද ගගට පනින්නද කල්පනාව "
මගේ සවන් ලගින් ඇසුණු කටහඩ ඔස්සේ මම ක්ෂණිකව හැරී බැලීමි.

(පළමු කොටස කියන්න බැරි වුනු කෙනෙක් ඉන්නවානම් මෙන්න පාර ..බොඳව ගිය දේදුනු- 1 කොටස)


අද එතැන් සිට ...........


ආදරේ කියන එක පුජනීය දෙයක්.. එක දෙන්න ඕනි පුජනීය විදියට. ඇත්ත ආදරයක් තියෙන්න ඕනා පුදසුනක. ඒ කියන්නේ මල් පුජා කරන තැනක.නැතුව කුණු බක්කියක නෙමෙයි.
මගේ ජිවිතේ ගල් සහ මල් වලට පස්සේ හිස් විරාමයක් ලැබුවා විතරයි...පුජනීය විදියට ආදරයක් ආරක්ෂා කරන්න බැරි පිරිමියෙකුට ආදරේ කරන ගැහැණිය, මොඩියෙක්. මොනවා නැතත් මම ඒ ටිකනම් ආදරේ කරලා අත්වින්ද සත්‍යක්..


"අනේ මම මොකටද ගගට පනින්නේ.. ."


නාදුනන ඒ කටහඩට මම උත්තර දුන්නේ එහෙමයි. ටිකක් තරහෙන්. කොහොමත් දන්නේ නැති කෙනෙක් එක්ක කතා කරද්දී කල්පනාවෙන් එපැයි කතා කරන්න.එත් ඒ ඇස් දෙක...


"නෑ මම එක නිකම් ඇහුවේ ගග දිහා කන්න වගේ බලන් හිටපු නිසා "


මම මුනිවත රැක්කෙමි.


"ඔයා ව මම මේ පන්සලේදී ගොඩාක් වතාවක් දැකලා තියෙනවා ඔහේ පැත්තකට වෙලා එකම දෙයක් දිහා බලාගෙන ඉන්නවා.ඒ නිසයි මට ඔයාව ගොඩාක් නෝට් උනේ.."


මම එයට සිනහවකින් පමණක් පිළිතුරු දුන්නෙමි. මේ මොන හෙනගෙඩියක්ද..? 


"මොකෝ කතා කරන්නේ නැත්තේ? ඔයා මේ ලගමද ? "


ඒ පාරනම් මම කතා කරන්න හිතුවා..


"අහ්හ් ඔව් මේ ලග. මම යාලුවෙක් එක්ක ආවේ. මේ ගඟ පැත්තට ආවා ටිකක්. මම එහෙනම් යන්නම්.. "


මම යන්නට සැරසේනවාත් එක්කම ඒ උස් සිහින් සිරුරැති නාදුනන කටහඩ ඇත්තටම එක ලස්සන කටහඩක්.


"හ්ම්ම් හොදයි ගිහින් එන්න. මම හෙටත් එනවා. "


අඩියට දෙකට මම එතැනින් පිට වීමි.
මම හෙටත් එනවා.??????? ඒ මොකෝ ඒ?


හ්ම්ම් ඒ ඇස් ලස්සනයි. හීනියි, මම මටම කියාගත්තා..


"කවුරු එක්කද බන් උබ අර කයිය ගගහා හිටියේ?"
මගේ මිතුරිය මගෙන් එහෙම ඇහුවේ ඇයගේ පෙම්වතා වූ තාරක ඉන්නකොටමයි.


" අනේ මන්ද බන් දන්නේ නැති කෙනෙක්. මන් ලගට ඇවිත් කතා කළා. මමත් ඉතින් කතා කළා. අපි යන්නේ නැද්ද බන්.?"

පෙම්වතුන්ට බාධා කරන එක සහගහන අපරාදයක් උනත් ඒ වෙනකොටත් හොදටෝම කළුවර වෙලා තිබුණු නිසාත් පහුවෙනිදා උදේම වැඩට යන්න ඇහැරෙන්න  ඕනා නිසාත් මම අකමැත්තෙන් හරි ඔවුන්ගෙන් එහෙම ඇහුවා. 


       " හරි බන් යමු. අපි හිටියේ උබ එනකම් යන්න."




ඒ ඇස් මට ලොකු කතාවක් කියන්න වගේ මට තේරුනේ. මග දිගටත් ඒ ඇස් මට එකදිගටම මතක් උනා.
එත් 
ඇස් දෙකක් දිහා බලන් කප්පරක් හීන පොදි ගැහෙද්දි, ඒ හීන මගේ ඇස් ඉස්සරහා බොද වෙලා අළු වෙලා යද්දි හිතේ හයියෙන් මෙච්චර තරමට හරි ජිවිතේ හදාගන්න පුළුවන් වෙද්දී මට ආපහු ඇස් දෙකකට පෙම් කරන්න බය හිතුනා. ඒ ඇස් අමතක කරන්න මම උත්සාහා කළා.


 "මොකෝ උබ කල්පනා සයුරේ පිනනවාද? ආපු වෙලේ ඉදන් උබ එක විදියක්"
මගේ දැහැන බිදුනා.. අහෝ මම පන්සල් ගිය ඇදුම් පිටින්මයි.. හේ හේ.

"නෑ බන් මම මේ කල්පනා කලේ හෙට වැඩට යන්න ඔනානෙ... අන්න එක "


 " අනේ යකෝ තෝ හැමදාමත් වැඩට යනවානේ.. හෙට විතරද.. එකේ අලුතෙන් අද කල්පනා කරන්න දෙයක් තියෙනවාද "


" නෑ බන් හෙට කවුද මන්දා එනවාලු මාව හම්බෙන්න "


"නෑහහ්.. ඒ කවුද? නෙතුකි මටත් කියුවා උබ ගැන කොල්ලෙක් අහනවා කියලා. ඌද? "


"ඔව් බන්"


"ඉතින් උබ මොනාද කියන්න යන්නේ "


"මොනා කියන්නද? මම කියනවා මම කැමති නැහැ කියලා. අනික මට කොහොමත් ආපහු කොල්ලෙක් එපා. මෙහෙම හොදයි බන්.. ජිවිතේ සැහැල්ලුයි.. "


"එකත් එහෙම තමයි බන්. එත් ජිවිතේ කවදාවත් අපිට තනියම ජිවත් වෙන්න බෑ..හා හා පුරා කියලා උබ ජිවිතේ අඩිය තිබ්බේ වැරදි පාරක.එත් ජිවිතේ පුරාම වැරදෙනවා කියලා හිතන්න එපා."


මිතුරියගේ ඒ වදන් මගේ හිතේ තදින්නම කාවැදුනා.එත් ඒ වචන වලට පන දෙන්න මම ගොඩාක් බයයි.. මට ආපහු වැරදෙයි කියලා මට බයයි.




"මට තේරෙනවා බන් උබ කියන දේ. එත් මම අසරණයි. මට ආපහු කාටවත් ආදරේ කරන්න බැරි වේවි.."


මම එහෙම කියලා ඇයගෙන් මිදී ඉස්තෝප්පුවට ගියා. ඇය මගේ පස්සෙන් නාවේ මට හිතන්න ඉඩදෙන්න....
ඔයා හින්දා කවදාවත් අඩන්න එපා කිව්වත් දැන් ඇස්වල කදුළු පිරිලා ඉවරයි.ඇයි මට මෙහෙම උනේ....
අහංකාර ආඩම්බර කොල්ලෙකුට මට ආදරේ කරන්න හිතුනේ ඇයිද මන්දා..
එයා එහෙම නොවුනානම් මේ හැමදේම මෙහෙම නොවෙන්න තිබුනා....



----------------------------------------------------------------------------------------------------------------------


පහුවෙනිදා වැඩට ගියේ කෙනෙක්ව බලාපොරොත්තුවෙන්,, එත් මම පැහැදිලි තිරණේක  හිටියා.
ඔහු සවින්.. සවින් මගේ හොදම මිතුරියගේ මිතුරෙක්. ඔහු මාව දැක තිබුනේ දෙවරක් පමණයි.. පලවෙනි වර ඒ මගේ මිතුරියගේ ගෙදරදී. ඇයගේ පියාගේ දානේ ගෙදරදී. දෙවෙනි වර අපේ ඔෆිසියේදී. එදා ඔහු ඇවිත් මාත් සමග ගොඩාක් වෙලා කතා කළා. 




මගේ මිතුරියගේ දැනුවත් කිරීම අනුව නම් සවින් යහපත් පවුලකින් පැවත එන එහෙත් සෙල්ලක්කාර කොල්ලෙක්. කොහොමත් සහෝදරයෙක් මිතුරෙක් කියන බැදීමට එහායින් ඔහු පිලිබදව මගේ සිතේ අබමල් රේණුවක දෙයක් තිබුනේ නැහැ.


කාර්යාලයේ වැඩ වෙනදා වගේ ගෙවිලා ගියේ මගේ හිත සනසන්න වගේ... 
අසිස්ටන් මැනේජර්  ඒ වෙලාවේ  ඒ පැත්තට එනවා දැක්කේ මගේ එහා පැත්තේ මෙසේ හිටපු අසිත..


" අන්න මරුමුස් එනවා."


එයා ආවේ දුර තියාම මං දිහා බලාගෙන...


"කෞමදී, අලුතින් ගත්ත trainee ට වැඩ ටිකක් කියලා දෙන්න.. මිනිහා IBSL එකේ  CBF ඉගෙනගන්නවාලු."


"හොදයි මිස්ටර් සිල්වා..."


හුරු පුරුදු මුහුණක් එකවරම දොරකොඩින් මතුවිය.දෙයියනේ සවින්????




මතුසම්බන්දයි